ඝාතනයට සඟවා තිබු අවි- උණ්ඩ සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ   රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි නැමැත්තා ඝාතනය කිරීම සඳහා සඟවා තැබූ බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 10 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අහුන්ගල්ල පොලිස් වසමේ ජම්බු ගස් වත්ත, වැලිතර ගල් වල , ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී එම ගිනි අවිය සහජීව උණ්ඩ සොයාගෙන ඇත .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සිල්වා මහතාට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයාගෙන ඇත.

බූස්ස   බන්ධනාගාරයේ රඳවා සිටින  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි විසින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ  මස්සිනාව  ඝාතනය කිරීම හේතුවෙන්  එයට පළිගැනීමක්ලෙස ලොකු පැටී අධිකරණයට රැගෙන යන අවස්ථාවේදී ගිණි අවි කීපයකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කළ සැලසුමකට යොදා ගැනීමට නියමිතව  මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබන්නට ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ගිනි අවිය සහ ජීව උණ්ඩ මෙම ස්ථානයේ සැඟවූ  කරන්දෙනිය  සුද්දාගේ සමීපතමයන් සොයා විමර්ශන සිදු කෙරේ.