ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් තියෙනවා


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව බලය ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපති නීතීඥවරයා මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ ගෝඨභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් පසු මෙම ප‍්‍රතිශෝධන පෙත්සම මේ මස 14 වැනිදා යළි සලකා බැලීමට කැඳවන ලෙසද නියෝග කෙරිණි.

එදිනට අධිකරණයෙන් ඉදිරිපත් කළ කරුණු දෙකක් පිළිබඳ ලිඛිත දේශන ගොනු කරන ලෙසද නියෝග කෙරිණි.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය අනුව ස්ථිර ත‍්‍රීපුද්ගල මහාධිකරණය මුල් අවස්ථා අධිකරණයක් ද ’’ සහ ‘‘ රත්වත්තේට එරෙහි නීතිපති නඩුව මෙම නඩුවට අනුකූල වන්නේ කෙසේද ’’  යන ප‍්‍රශ්න දෙක අධිකරණයෙන් දෙපාර්ශ්වයේ නීතීඥවරුන්ට ඉදිරිපත් කර ඒ පිළිබඳ ලිඛිත දේශන ගොනු කරන ලෙසද නියෝග කෙරිණි.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ  මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරා පෙන්වා දේ.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.

මෙම  පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක්  විශේෂ ස්ථිර  ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරුන් පෙනී සිටියහ.