ගෝඨාගේ ඒකකයක් තවමත් වැඩ


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වී වසරකට වැඩි කාලයක් ගත වුවත් ඔහුගේ කාර්ය මණ්ඩලය විශේෂ ව්‍යපෘති නමින් අලුතින් නිර්මාණය කරන ලද ඒකකයක පිරිසක් ජනාධිපති කාර්යාලයේ දිගටම සේවය කරන බවට සාක්ෂි අනාවරණය වී ඇත.

රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයේ පත්වීම වැඩි ප්‍රමාණයක් දේශපාලන පත් වීම් බවද ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය ඔහුගේ වැරදි කළමනාකරණය නිසා ඇති වූවක් බවට චෝදනා කරමින් ධුරයෙන් ඉවත් වන ලෙස බල කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සම්පූර්ණ ධුර කාලය ධුර නොදැරුවද ඔහු විසින් තෝරාගත් හිටපු පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ කොටසක් විශේෂ ව්‍යපෘති ඒකකයේ සේවය කරමින් රජයෙන් වැටුප් සහ වරප්‍රසාද දිගටම ලබා ගන්නා බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ධුර කාලය සම්පූර්ණ නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුවද ඔහුට හිටපු ජනාධිපතිවරයකුට හිමිවන වරප්‍රසාද ලැබෙන බවත් ඔහුට ලබා දී ඇති සුඛෝපබෝගී නිවසට මෙන්ම මිරිහානේ පුද්ගලික නිවසටද රජයෙන් ආරක්ෂාව ලබා දී ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

රාජපක්ෂ මහතා මලලසේකර මාවතේ නිවසේ අවට ඝෝෂාකාරී වීම සහ අනිකුත් ගැටළු හේතුවෙන් එහි පදිංචි වී නොමැති වුවත් එම නිවසට ආරක්ෂාව ලබා ගෙන ඇති අතර ඔහු එම නිවස නැවත බාර දී නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

හිටපු ජනධිපතිවරයකුට හිමි සියලු වරප්‍රසාද රාජපක්ෂ මහතා භුක්ති විඳින අතරම ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා විශේෂ ව්‍යපෘති ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සහ රාජපක්ෂ මහතා තෝරාගත් කාර්ය මණ්ඩලය එහි සේවය කරමින් රජයෙන් වැටුප් සහ වරප්‍රසාද දිගටම ලබා ගන්නා බව ආරංචි මාර්ග පවසා තිබේ.

නමුත් අලුතින් විශේෂයෙන් නිර්මාණය කරන ලද විශේෂ ව්‍යාපෘති ඒකකයේ රාජකාරිය කුමක් දැයි පැහැදිලි නොමැති බවද ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

විශේෂ ව්‍යාපෘති ඒකකය ජනාධිපති කාර්යාලයේ ඒකකයක් බවත් එම ඒකකය කොළඹින් පිටත දියත් කර ඇති ඇතැම් ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම සිදුකරන බවත් මෙම ඒකකය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීම පරිදි නිර්මාණය කර ඇති එකක් බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

භාණ්ඩාගාරයට එල්ල වී ඇති පීඩනය අඩු කිරීම සඳහා අවම කාර්ය මණ්ඩලයක් පවත්වා ගත යුතු මොහොතක මෙවැනි ඒකකයක් පවත්වා ගෙන යන්නේ ඇයිදැයි ආරංචි මාර්ග ප්‍රශ්න කර තිබේ.

(ඩේලිමිරර්)