ගොවීන්ට තෙල් දෙන්න අලුත් නිලධරයෙක් පත්කරයි


 

(අංජුල මහික වීරරත්න)

වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියෙක් මෙි සඳහා පත්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී ඇත.

මෙවර යල කන්නයේදී වී අස්වනු නෙලීම සඳහා ප්‍රමාණවත් හා විධිමත් පරිදි  ඉන්ධන නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි සළකා බලා මෙම පියවර ගෙන තිබෙි.

දැනට ගණන් බලා ඇති ආකාරයට මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ස‍ඳහා අඩුතරමින් ඉන්ධන බවුසර් 3020 ක ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

මෙවර යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 512,000 ක වී අස්වනු  සැප්තැම්බර් 30 වනවිට නෙලා අවසන් වීමට නියමිත බැවින් මෙම ඉන්ධන ප්‍රමාණය එම දිනය වන විට සපයා අවසන් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.