ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල )

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු අද(11 ) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

54 හැවිරිදි මොහු , මෙම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයාය .

 යානයේ ගමන් ගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 81 හැවිරිදි ඇමෙරිකානු කතෝලික පූජකවරයකු , ශ්‍රී ලංකාවේ වාසය කරන සිය වැඩිමහල් සොහොයුරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇයට පරිත්‍යාග කිරිමට මෙම ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල රැගෙන විත් තිබේ .

මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත් වී මද වේලාවකට පසු , මෙම පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල , මෙම චීන ජාතිකයා විසින් සොරා ගෙන තිබේ .

මේ බැව් ගුවන් සේවා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .