ගුවන්යානා ඉන්ධන ගෙන්වීම පෞද්ගලික අංශයට


(සුජිත් හේවාජුලිගේ )

ගුවන්යානා ඉන්ධන ගෙන්වීම සඳහා  පෞද්ගලික අංශයට අවසරදීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ  විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට   ගුවන්යානා ඉන්ධන සැපයීම  දුෂ්කරවීම සැලකිල්ලට ගෙනය.

ශ්‍රී ලංකාවට පැමිණෙන  ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන  ලබාගැනීමේදී මතුවී ඇති දැඩි අර්බුදය සම්බන්ධයෙන් ගුවන් සේවා සමාගම්හි නියෝජිතයන් හා ලංකාවේ  ඉන්ධන තොග ගබඩාකරුවන් සමඟ  අමාත්‍යාංශයේදී  පසුගිය 24 වැනිදා පැවැත්වූ   සාකච්ඡාවකින් පසු  තමා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ  ගුවන් යානා ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම නිසා මේ වනවිටත් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා  ශ්‍රී ලංකාවට පියාසර කිරීම අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයෝ  මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ ඒකාධිකාරය ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බවත්, ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට, ගබඩා කිරීමට සහ අලෙවියට තම ආයතනවලට අවසර දෙන්නේ නම් එය ඉටු කිරීමට  හැකියාව ඇති බවත්  ඉන්ධන තොග ගබඩා කරුවන්  මෙහිදී සඳහන් කර ඇත.

ගුවන් යානා පැමිණීම  විනිමය අර්බුදය හමුවේ තවදුරටත් අඩු වුවහොත් මෙරට සංචාරක කර්මාන්තය,අපනයනය,විදෙස් ආයෝජන  මෙන්ම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපාන බැවින් පවතින නීතිරීති සංශෝධනය කර හෝ මෙම අවස්ථාව  ජයගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම පනත් සංශෝධනය කිරීමට කාලයක් ගත වන හෙයින් එතෙක් කෙටි කාලයකට රජයේ  ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස, අමාත්‍ය මණ්ඩලයේද   අනුමැතිය යටතේ පෞද්ගලික අංශයේ ඉන්ධන තොග ගබඩා කරුවන්ට ඉන්ධන ආනයනය කිරීමේ  අවස්ථාව ලබාදීමට   අමාත්‍යවරයා තීරණය කර ඇත.

මෙම කටයුත්තට උපරිම සහායදීමට ගුවන් සේවා අධිකාරියටද ගුවන් සේවා සමාගමටද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන් අතර රේගුව,ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු සෙසු ආයතනද  ඊට සහය ලබාදිය යුතු බවට මෙම කැබිනට් පත්‍රිකාවෙන් විධිවිධාන සලසා ඇතැයි  අමාත්‍යවරයා මෙහිදී ඉන්ධන තොග ගබඩාකරුවන්ට පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය ඉදි කිරීමේ නිරත ටායිසෙයි සමාගමද ඉන්ධන  ලබා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින බැවින්,ඔවුන්ටද  ඉන්ධන  ලබාදීමට සහය වන ලෙස අමාත්‍යවරයා ඉන්ධන  තොග ගබඩාකරුවන් ගෙන්  මෙහිදී  ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ,සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම , ඉන්ධන තොග ගබඩාකරුවන්ගේ නියෝජිතයන්  එමිරේට්ස්,ශ්‍රී ලංකන්,ගුවන් සමාගම්වල නියෝජිතයන්ද ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරින්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.