ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර


(තිළිණි ද සිල්වා)
 
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවිකීරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
 
මේ සඳහා වහා අවශ්‍ය පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (06) ගුවන්තොටුපළ බලධාරීන්ට උපදෙස් දුන් බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
දැනට ගුවන් මගින් භාණ්ඩ අපනයනයට පෙර, ගුවන් තොටුපළට ප්‍රවේශ වන ස්ථානයේ දි හා ගුවන් තොටුපළට භාණ්ඩ පැටවීමට පෙර පරීක්ෂාවට ලක් කෙරෙන අතර මෙම ස්ථාන දෙකට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කර, අවශ්‍ය නිලධාරීන් යොදවා එහි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා මෙහි දී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
 
භාණ්ඩ අපනයනය විධිමත් කිරීම හා අපනයනකරුවන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා සමග අපනයනකරුවෝ, ගුවන් හමුදා බලධාරීහු හා ගුවන් තොටුපළ බලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
අපනයනකරුවන් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ කටුනායක ගුවන්තොටුපළට පිවිසෙන විට භාණ්ඩ පරීක්ෂාව ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට නම් එහි ස්කෑනර් යන්ත්‍ර සවි කළ යුතු බවයි.
 
එසේම අධි ශීත භාණ්ඩ පැය ගණනකට පෙර ගෙන ඒම හේතුවෙන් භාණ්ඩවල ගුණාත්මකභාවයට හානි සිදු වන බව ද අපනයනකරුවෝ මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට විශාල ලෙස පාඩු සිදුවන බව ද අපනයනකරුවෝ මෙහි දී ඇමතිවරයාට පැමිණිලි කළහ. ශ්‍රී ලංකා රේගුව, ගුවන් හමුදාව, ගුවන් සමාගම් හා අපනයනකරුවන් අතර වට මේස සාකච්ඡාවක් කැඳවා වහාම මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙනන්නැයි ද සංචාරක අමාත්‍යවරයා මෙහිදී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට උපදෙස් දී ඇත.
 
ඉකුත් වසරේ දී කටුනායක ගුවන් තොටුපළ මගින් මෙට්‍රික් ටොන් 261,000ක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කර තිබෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
 
කෝවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග ගුවන් තොටුපළ මගින් මෙහෙයුම් නතර කෙරුණ ද භාණ්ඩ අපනයනය හා ආනයන මෙහෙයුම් ඉතා කඩිනමින් ආරම්භ කෙරුණු අතර  පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ ද අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.