ගුරු පුහුණුව දුන්නත් 1300කට රැකියා දෙන්න බෑ


(බිඟුන් මේනක ගමගේ)

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ගුරු පුහුණුව ලබා දුන් 1300කට රැකියා ලබාදීමේ හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී තිබේ. එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දිය හැකි බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට දැනුම් දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනිදා ගුරු පුහුණුව සඳහා පත්වීම් ලිපි ලබා දී ඇතැයි ද තමන් සේවයෙහි ස්ථිර කරන බවට පැවති රජය පොරොන්දු දී ඇතැයි ද එහි දී භාෂා පුහුණු ගුරුවරු ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇත. එහෙත් නීතියට අනුව අගමැතිවරයා ලබා දුන් පත්වීම් ලිපියක් මත පිහිටා සේවය ස්ථිර කිරීමකට අවස්ථාව නැති බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට පෙන්වා දී ඇත.