(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මොරන්තුඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසර සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විද්‍යාලයේම සිසුන් පිරිසෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේම දහවන වසරේ සහ දොළොස් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි
පහර කෑ සිසුවා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණු පාදයේ අස්ථියක් බිඳීම හේතුවෙන් ශල්‍යකර්මයට ලක්කර ඇති බව පොලීසිය සඳහන් කරයි
පහර කෑ සිසුවා මීට පෙර තවත් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී මෙම පහරදීම වි ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර දුන් බව කියන තවත් සිසුන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර එම සිසුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පොලිසිය ඇප මත මුදාහැර අදාල පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අනතුරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතුන්ගේ උපදෙස් මත මොරොන්තුඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් ද සිල්වා මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ

