ගාල්ලේ එන්නත් සිද්ධියේ වාර්තාවක් කැඳවයි


(උණවටුන ඞී. ජී. සුගතපාල)

උණවටුන පිහිටි ගාල්ල දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි  ඉකුත් 05 වැනිදා සහ 07 වැනිදා ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂිල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අද නියෝග කළේය.

උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප‍්‍රමාණය සහ එන්නත් බෙදා හරින ලද ප‍්‍රමාණය මෙන්ම ඉතිරි වූ එන්නත් ප‍්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්  ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස ද අධිකරණය උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට නියෝගයක් නිකුත් කළේය.

එසේම, එම සිද්ධියට අදාළව ඉකුත් 05 වැනිදා සහ 07 වැනිදා යන දෙදින එන්නත් වැඩසටහනේ සි. සි. ටි. වී. දර්ශණ ඇතුළත් සී ඞී තැටියක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට තවත් නියෝගයක් නිකුත් කළේය.

එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අතරමැදියකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයකුගේ දුරකතන වාර්තා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලබා දෙන ලෙසට ද මෙහිදී අධිකරණය අදාළ දුරකතන සමාගම්වලට ද නියෝගයක් නිකුත් කළේය.

සිද්ධියට අදාළ දින දෙකේදී දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් ගාල්ල දෙසට පිටවු වාහන පිළබඳ තොරතුරු ඇතුලත් සී.සි.ටී.වි. කැමරා දර්ශණ සියල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා දක්ෂිණ අධිවේගි මාර්ග අධ්‍යක්ෂකවරයා ට ද නියෝගයක් නිකුත් කර තිබිණී.