
(සුජිත් හේවාජුලිගේ )
ගාල්ලට ගොස් එන්නත් ලබා ගත් බස්නාහිර පළාතේ පිරිස අතර විපක්ෂයේ දේශපාලඥයන්ගේ සමීපතමයන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මේ පිරිස ගැන ආරක්ෂක අංශ වෙනම විමර්ශනයක් අරඹා ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා ඔවුනට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද සඳහන් කළේය.
මේ අතර රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය බිඳ දැමීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ සෙවිල්ලෙන් පසුවන බවත් ජයසුමන මහතා කීවේය .
ගාල්ලේ එන්නත් සිද්ධිය අනාවරණය වූ වහාම ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා අදාළ නිලධාරින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව කී රාජ්‍ය ඇමතිවරයා ඔවුනට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන බවද අනාවරණය කළේය .
මේ අතර ගාල්ලෙන් එන්නත් ලබා ගැනීමට ගිය බස්නාහිර පළාතේ පිරිසෙන් බහුතරයක් මේ වන විට හඳුනාගෙන අවසන් යැයි පොලිස් මූලස්ථානය පවසයි .
මේ සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමෙනි .

