(මනෝප්‍රිය ගුණසේකර)
රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 22 කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (18) නියම කළේය.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා මෙම මුදල වංචා කළැයි මන්ත්‍රීවරයාට එරෙහිව නඩුව ගොනු කර තිබිණි.
වර්ෂ 1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ උදය ගම්මන්පිල මහතා සහ ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඩ්නි ජයසිංහ මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ 04 වැනි සාක්කිකරු පදිංචිව සිටින ස්ථානය තමන් දන්නා හෙයින් ඇගේ ලිපිනය පැමිණිලි පාර්ශවයට ලබාදීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් දැනට සොයා ගැනීඹට නොහැකිව සිටින පැමිණිල්ලේ 04 වැනි සාක්කිකරු පදිංචි ලිපිනය ලබා දෙන්නේ නම් ඇගේ සාක්කි ගැනීම සඳහා ඇය අධිකරණයට කැඳවීමට පියවර ගන්නේ යැයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 22 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

