ගංවතුරෙන් අපනයන ආයතන 38ක් සුන්


(සුජිත් හේවාජුලිගේ)

කාලගුණ විපතින්  අපනයන ක්ෂේත්‍රයේ  ඇඟලුම්  ඇතුළු  විවිධ  ආයතන සහ  කර්මාන්තශාලා   121 කට  නොයෙක් ආකාරයේ හානි සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

මින් 38කට පූර්ණ හානිද 48කට අර්ධ හානිද   සිදුව ඇති බව   හෙතෙම සඳහන් කළේය.

ඇඟලුම් ආයතන හයකටද කුළුබඩු නිෂ්පාදන ආයතන පහකටද තේ සම්බන්ධ ආයතන අටකටද  රබර් ආශ්‍රිත කර්මාන්ත තුනකටද ආහාරපාන ආශ්‍රිත කර්මාන්තශාලාවකටද පොල් ආශ්‍රිත කර්මාන්ත ශාලා පහළොවකටද  මැණික් ආශ්‍රිත කර්මාන්තශාලා හතරකට ද ඉලෙක්ට්‍රොනික ආශ්‍රිත  කර්මාන්තශාලා දෙකකටද මත්ස්‍ය ආශ්‍රිත කර්මාන්තාලා අටකට මෙලෙස හානි සිදුව ඇත.

ඇඟලුම් කර්මාන්තශාලා අතුරින්  කර්මාන්ත  ශාලාවකට දැඩි හානිද තවත් කර්මාන්තශාලා පහකට අර්ධ හානිද සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

කර්මාන්තශාලාවලට සිදුවුණු හානි පිළිබඳ දැනුම් දෙන ලෙස  මණ්ඩලය කළ ඉල්ලීම අනුව  අපනයනකරුවන්  121 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වුණු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රටපුරා නිෂ්පාදන ආයතන වලට වූ හානිය මෙන්ම පාඩුව තක්සේරු කිරීමේ වැඩපිළිවෙළක්ද රජය ආරම්භ කර තිබේ.