(නිමන්ති රණසිංහ)
වසරකදී වැටලීම්වලින් අත්අඩංගුවට ගත් ගංජා කිලෝග්‍රෑම් 4500කට අධික ප්‍රමාණයක් දේශීය ඔෂධ සකස් කිරීම සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව ඉකුත් 24 වැනිදා ද ගංජා කිලෝග්‍රෑම් 1481ක් අයුර්වේද දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් ඒ අනුව වසරක කාලයක් තුළ එම දෙපාර්තමේන්තුවට ලබාදුන් ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 4500කට අධික බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල මහ ඇල ආශ්‍රීත ප්‍රදේශයේ නීති විරෝධී ලෙස අක්කර 2 ක පමණ භූමියක වගා කරන ලද උස අඩි 6 ක් පමණ වන ගංජා ගස් 18815 ක් හා වියළි ගංජා කිලෝ ග්‍රෑම් 37 කට අධික ප්‍රමාණයක් සමග සූරියවැව හා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ත් 58 ත් අතර පුද්ගලයින් තිදෙනෙකු ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබා දුන් තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ විදේශීය රට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම උණ්ඩ 03 ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.
විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී (හම්බන්තොට/ගාල්ල/උඩවලව) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.ඒල් මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් ගංජා තොගය, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට කිලෝමීටර් 6 කට වැඩි දුරක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ කර මතින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කතරගම ශාඛා කාර්යාලය ගෙනැවිත් භාරදී ඇතැයි ද වාර්තා වේ.

