
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අහෝසිවී ගොස් ඇති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් ඉදිරි දින දෙක ඇතුළත පිහිටුවීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම කමිටුවලට පත් කෙරෙන සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන පාර්ලිමේන්තුවට හෙට සහ අනිද්දා ඉදිරිපත් කිරීමට නියමිතය.
එම කමිටු පිහිටු වීමෙන් පසු ඒවා රැස්වී සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තෙන් සභාපතිවරුන් තෝරා ගැනීම සිදු කෙරේ. පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු වලට හිටපු සභාපතිවරුන්ම පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් වාර අවසාන කිරීමත් සමග අහෝසිවූ එහි පාර්ලිමේන්තු කාරක සභා සංඛ්‍යාව පනහකට ආසන්නය.
දැනට පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු කමිටු තුනක් පමණි. තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ මුදල් පිළිබඳ කාරක සභාව එම කාරක සභා තුනයි.

