(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් තුළ සඟවා මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 300 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු යාපනය, පුංකුතිව් මුහුදු කලාපයේ දී අද (2) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෑත කාලයේ දී උතුරු මුහුදින් අත්අඩංගුවට ගත් විශාලතම කේරළ ගංජා තොගය බවද නාවික හමුදාව පැවසීය.
සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා රැගෙන එමින් තිබූ කේරළ ගංජා තොගය සමඟ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට යාපනය ලසංගුපිඩ්ඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවටගත් ජාවාරම්කරුවන් දීර්ඝ කලයක සිට ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට කේරළ ගංජා රැගෙනවිත් කොළඹ ඇතුළු විවිද ප්‍රදේශයන් වෙත බෙදාහැරීම සිදුකරන ජාවාරම්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඉන්දියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවෙන් මෙම කේරළ ගංජා තොගය මිළදී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවද කීය.
ජාවාරම්කරුවන් භාවිතා කල ඩිංගි යාත්රාවද මීට ඉහතදී ධීවර කටයුතු සඳහා භාවිතා කළ ඩිංගි යාත්‍රාවක් බවද පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඩිංගි යාත්‍රා සහ කේරළ ගංජා තොගය ඇතුළු සැකකරුවන් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාරදීමට නියමිතය.
නාවික හමුදාව හා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

