
(ටී.කේ.ජී.කපිල)
රුපියල් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ පන් දහස් නවසිය අසූ පහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (15) දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට පත් පළමු කාන්තාව 26 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින්නියකි.
ඇය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දින ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) උදෑසන 08.45 ට පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන විත් තිබූ විශාල රෙදිපිළි තොගයක් අඩංගු ගමන් මලු කීපයක් අතර පාර්සල් 08 ක් ලෙස සකස් කර තිබූ රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ පන් දහස් නවසිය අසූ පහක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 748 ක් බරැති ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබුණි .
අනෙක් කාන්තාව 34 හැවිරිදි කොළඹ , ජම්පටා වීදියේ පදිංචි , ව්‍යාපාරික කටයුතු වල නිරත ශ්‍රී ලාංකිකයෙකි .
ඇය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (15) අලුයම 05.50 ට පැමිණ තිබුණි .
ඇය විසින් රුපියල් කෝටියක් පමණ වටිනා ග්‍රෑම් 516 යි මිලි ග්‍රෑම් 907 ක් බරැති ස්වර්ණාභරණ තොගය ඇයගේ පපු ප්‍රදේශයේ සගවා ගෙන පැමිණ තිබුණි .
මෙම කාන්තාවන් දෙදෙනාම කටුනායක ගුවන් තොටුපොළ රේගු කටයුතු ඇතුළු සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි .
මේ වනවිට මෙම කාන්තාවන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ස්වර්ණාභරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .


