කෝටි 27000 ක බදු පොල්ල ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 27,000ක බදු මුදලක් ( අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.

මේ අතර බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයන කරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු කිසිවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොපවතින බවද එම කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

රටේ සිදුවන දැවැන්ත ගනුදෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන්ද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය.

එබැවින් මෙම මුදල් අය කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් අලුත් නීති ඇති කිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා දෙන බවත් කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලියාපදිංචි සමාගම්වලින් බදු අයකිරීම, නව බදු ලිපිගොනු ආරම්භ කිරීම, දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බදු නිලධාරීන් , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රමිස් පද්ධතිය වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.