කෝටි 14ක් ගිල්ලත් පුරන් කුඹුරු හැදිල්ල බාගෙට කරලා


 

(සුජිත් හේවාජුලිගේ )

පුරන් කුඹුරු අස්වැද්දීමේදී  අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

පුරන් කුඹුරු අක්කර 3809 ක් අස්වැද්දීම සඳහා රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් ප්‍රතිපාදන වෙන්කර තිබියදී අක්කර 2980 ක්  පමණ අස්වද්දා රුපියල් කෝටි දාහතරකට ආසන්න මුදලක් වැය කර  තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම පුරන් කුඹුරු අස්වැද්දීම කර තිබුණේ 2023 වර්ෂයේ සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම අනුව  බව   එහි දැක්වේ. මේ අතර ගබඩා පහසුකම් ඇති කිරීම වෙනුවෙන් රුපියල් කෝටි එකොළහක පමණ ප්‍රතිපාදන උපයෝගී  කරගෙන දිස්ත්‍රික්ක කාර්යාල හයක ගබඩා 11ක වැඩ අවසන් කර තිබුණද ඒවා පසුගිය වසරේ පෙබරවාරි මාසය  වනවිටත් නිෂ්කාර්‍ය  වත්කම් ලෙස පැවතුණු  බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දිස්ත්‍රික්ක විසිපහක් ආවරණය වන පරිදි සුහුරු ගම්මාන වැඩසටහන යටතේ හරිත ගෘහ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 37 ක් පමණ වෙන්කර  2023 වර්ෂයේදී  දිස්ත්‍රික්ක 16 ක කෝටි පහළොවක  වියදමින්   හරිත ගෘහ ඒකක 291 ක් ඉදිකිරීමට යෝජිතව පැවතුණද 2023 වර්ෂයේදී   හරිත ගෘහ 135ක පමණක් ඉදි කිරීම් ආරම්භ කර තිබූ බව පවසන  වාර්තාව   එ්වායේ  ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 49 ක් බවද  සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ  ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ  තොරතුරු ලේඛනයේය.