කොළඹ වරායේ අයි.ටී.ටී. තදබදයට නව දොරටුවකින් විසඳුම්


(යොහාන් භාසුර)

කොළඹ වරායේ පර්යන්ත අතර සිදු කෙරෙන ‘අන්තර් පර්යන්ත බහලු‍ හුවමාරුව’ හෙවත් අයි.ටී.ටී.  ප්‍රවාහනයේ පවතින තදබදය අවම කිරීම සඳහා වරාය අධිකාරියේ  අයි.ටී.ටී. ට්‍රක් රථ සඳහා පමණක් භාවිතා කිරීමට ජයබහලු‍ පර්යන්තයේ අදියර හතරේ තාවකාලික දොරටුවක් ඉදිකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පියවර ගෙන තිබේ.

ජාතික මාර්ග පද්ධතිය සංවර්ධනයට සමගාමීව කුළුණු මත ඉදිවන මාර්ග පද්ධතියේ කොටසක් කොළඹ වරාය පිවිසුම් හා අභ්‍යන්තර මාර්ගයට සමාන්තරව ඉදිවීම නිසා කොළඹ වරාය තුළ ද මේවන විට මාර්ග තදබදයක් ඇති බවත් මෙම තත්වය වරාය පරිශ්‍රය තුළ බහලු‍ ප්‍රවාහනයට ද බලපෑමක් එල්ල වී තිබූ බවත් වරායේ බහලු‍ මෙහෙයුම් ක්‍රියාවලියට මෙමගින් සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තාවකාලික දොරටුව ඉදිකිරීමට තීරණය කළ බවත් වරාය අධිකාරිය පවසයි.