කොවිඩ්වලින් පසු දෙහිවල සතුන් වත්තේ වැඩිම ආදායම ගිය සෙනසුරාදා


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  වසංගතය ආරම්භ වීමෙන් පසු දෙහිවල සත්වෝද්‍යානයෙන් වැඩිම ආදායම පසුගිය 18 වැනිදා සෙනසුරාදා වාර්තාවූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

එම ආදායම රුපියල් හය ලක්ෂ හතළිස් එක් දහසකට වැඩි යැයිද ඇය සඳහන් කළාය.

දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල  සහ සෆාරි උද්‍යානය යන ස්ථානවල    ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි පැවසූ රාජපක්ෂ මහත්මිය විදේශීය සංචාරකයන්ගේ යම් අඩුවක් පැවතියත්  දේශීය සංචාරකයන්ගෙන් සත්වෝද්‍යාන පිරීගොස් පවතින  බවද ප්‍රකාශ කළාය.

නත්තල් උත්සවය වෙනුවෙන් නත්තල් සීයා  කෙනකු යොදවා දරුවන්ට තෑගි බෝග  ලබාදීමේ වැඩපිළිවෙලක්ද සත්වෝද්‍යානවල අරඹා ඇතැයි ශර්මිලා රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානයට සතුන් කිහිපදෙනකු අලුතින් එකතු වී සිටින අතර එම සතුන් දැක බලා ගැනීමටද  ජනතාව දැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එම සතුන්ට නම් තැබීම සඳහා දරුවන්ගෙන් නාමයෝජනා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවත් එම වැඩපිළිවෙලටද ජනතාවගේ ඉහළ  ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.