කොරෝනාවෙන් මෙතෙක් මියගිය අය ගැන හෝඩුවාවක්


කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මස 31 වැනිදා දක්වා මියගිය අයගෙන් සියයට 61ක් පමණ තහවුරු කරන ලද දීර්ඝ කාලීන රෝගවලින් විශේෂයෙන්ම බෝනොවන රෝගවලින් පෙළුණු අය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය ඊයේ (3) ප්‍රකාශ කළා ය.

එලෙස මිය ගිය අයගෙන් සියයට 54කට දියවැඩියාව ද, තවත් සියයට 52කට අධි රුධිර පීඩනය ද, තවත් සියයට 24කට හෘදය ආශ්‍රිත රෝග ද, සියයට 19කට නිදන්ගත වකුගුඩු ආශ්‍රිත රෝග ද, සියයට 7කට අඝාතය ද, සියයට 5කට නිදන්ගත අක්මා රෝග ද, සියයට 10 ක්ලෝස්ටරෝල් ආශ්‍රිත රෝග ද, සියයට 8කට පිළිකා ආශ්‍රීත රෝග ද ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි පැවැසුවා ය.

කොවිඩ්-19 වසංගත කාලය තුළ බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන් ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළා ය.

මේ සියල්ලේ එකතුව ඇතැම් විට සියය ඉක්මවනු ඇතැයි ද ඊට හේතුව ඇතැම් රෝගීන් ද රෝග කිහිපයක් තිබීම යැයි ද ඇය කීවා ය.

‘කොවිඩ්-19’ ආශ්‍රිත පළමු මරණයේ සිට අගෝස්තු 31 වැනිදා දක්වා වාර්තා වූ මරණවලින් සියයට 77කට වැඩි පිරිසක් වයස අවුරුදු 60ට වැඩි අය යැයි ද ඇය පැවැසුවා ය.

වයස අවුරුදු 60ට වැඩි ‘කොවිඩ්-19’ ආශ්‍රිත මරණවලින් සියයට 70ක් පමණ තහවුරු කරන ලද බෝ නොවන රෝගවලින් පෙළුණු අය ද බව ඇය කීවා ය.

මේ තත්ත්වය නිසා ‘කොවිඩ්-19’ වසංගත කාලය තුළ බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවත් ඔවුන්ගේ සායන තුළින් එන්නත් ලබාගැනීමට කඩිනමින් පියවර ගත යුතු යැයි ද ඇය අවධාරණය කළා ය.

එමෙන්ම බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන් සිය ප්‍රතිකාර නිසි පරිදි කළ යුතු බවත් තමන්ගේ සායනවල සිටින වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කර එන්නත් ලබාගැනීමට තම වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ නොවරදවා ලබාගත් යුතු බවත් ඇය පැවැසුවා ය.

බෝනොවන රෝග මෙන්ම කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් සංකූලතා උත්සන්න වීමටත් දරුණු තත්ත්ව ඇතිවීමටත් බලපාන තවත් ප්‍රධාන කරුණු හතරක් ඇති බව ද ඇය මෙහිදි කීවා ය.