කොරෝනා එන්නත් හතරක් ගැන විශේෂ පරීක්ෂණයක්


 

(සුජිත් හේවාජුලිගේ)

මෙරට භාවිතා කෙරෙන  එන්නත්  වර්ග 4 කින් ඇති කෙරෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ලංකාදීපයට පැවැසීය.

මෙසේ පරීක්ෂණ පැවැත්වෙන්නේ ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සිනොපාර්ම් සහ මොඩර්නා  යන එන්නත්වලින්  ඇතිකෙරෙන  ප්‍රතිශක්තිය  සම්බන්ධයෙන් යැයිද  හෙතෙම සඳහන් කළේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් මාස හයකට පසු පුද්ගල  ශරීර තුළ ගොඩනැගී ඇති  ප්‍රතිශක්තිය  පිළිබඳවද ස්පුට්නික්, සිනොපාර්ම් සහ මොඩර්නා  යන එන්නත් ලබාගැනීමෙන් මාස තුනකට පසු ගොඩනැගී ඇති ප්‍රතිශක්තිය පිළිබඳවද  මෙම පරීක්ෂණ මගින් සොයා බැලෙන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

මේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව  පරීක්ෂණ පත්‍රිකාවක් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද   ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව  ජාන විශ්ලේෂණ පරීක්ෂණද දිගටම කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර රටේ කොරෝනා  පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  පැවසීය.