කොරළවැල්ලේදී දුම්රියක් ගිනිගනී


(යොහාන් භාසුර)

වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොරළවැල්ල දුම්රිය ස්ථානයේදී අද (31) පස්වරුවේ බඩු දුම්රියක එන්ජිම ගිනිගෙන සිදුවීමට ගිය විනාශයක් එහි නියාමකවරයා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී නිවාදැමීමෙන් වැගකී ඇති බව වාර්තා වේ.

කළුතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කොරළවැල්ල දුම්රිය ස්ථානය තුළදී පස්වරු 1.25 ට පමණ ගිනිගන්නවාත් සමඟම ක්‍රියාත්මක වූ එහි නියාමකවරයා ගිනිනිවන උපකරණ භාවිතා කරමින් ගින්න නිවා දැමූ බවත් ඒ හේතුවෙන් එන්ජිම විශාල හානියකින් තොරව බේරාගැනීමට හැකිවූ බවත් දුම්රිය මගීහූ පැවසූහ.

දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එන්ජිමේ මෝටරයක ගින්න හටගෙන ඇති බවත් ගින්න නිවා දැමුව ද එන්ජිම පණගැනීමට නොහැකි වූ බවත්ය.

ඒ හේතුවෙන් ඊට පසුව ධාවනය කළ දුම්රියෙන් එහි සිටි මගීන් කොළඹට ගෙන ඒමට කටයුතු කළ බව කී ඉදිපොළගේ එම දුම්රිය වෙනත් එන්ජිමක් යවා කොළඹට ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.