කොටින්ගේ කෘරත්වය සහ අසත්‍ය චෝදනා ගැන ඇමෙරිකාව දැනුවත් කරයි


( තිළිණි ද සිල්වා )

මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය අසත්‍ය චෝදනා සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමෙරිකා රජය දැනුවත් කිරීමට එරට වොෂිංටන් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

ඒ යටතේ සාකච්ඡාවක් ඇමරිකානු කොංග්‍රස් සභික ඩීනා ටයිටස්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ එරට කොන්සියුලර් ජනරාල් ලලිත් චන්ද්‍රදාස යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙන් ඉකුත් 12 වැනිදා ලාස් වේගාස්හීදි පැවැත් වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එමෙන්ම අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති ලංකාවට එරෙහි යෝජනාව මගින් පෙන්වාදෙන අයුරින් යුද්ධය පැවති සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේ කිසිම් අයුරකින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වී නැති බවත්, මානුෂිය මෙහෙයුම් උපරිම මානුෂිය අන්දමින් කෙරුණු බවත් තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

ඒ පිළිබඳව දැඩි අවදානය යොමුකළ, ඩීනා ටයිටස් මහත්මිය කොංග්‍රස් සභාවේ සියලුම සමාජිකයින් ඒ පිළිබඳව දැනුවත් කරන බව සඳහන්කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදීම‍ට අදහස් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් හැකි ඉක්මනින් එහි පළමු සහ දෙවන මාත්‍රා ශ්‍රී ලංකාවට යැවීමටත් එකඟතාවයක් ඇතිකර ගැනීමට එහිදී හැකිවී තිබේ.