(අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාම කොච්චිපතාන වැවේ ජල පෝෂිත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින් දැවැන්ත පරිසර හානියක් සිදුකර ඇති බවට මහබෝධි ගොවි සංවිධානය පෙන්වා දෙයි.
වැවෙහි ජල පෝෂිත ප්‍රදේශයෙහි අක්කර තුනක පමණ ප්‍රමාණයක හෝටලය ඉදි කරමින් ඇති අතර ජලය පිරී ඇති අක්කරයක පමණ ප්‍රමාණයක් මෙවනවිටත් යන්ත්‍ර යොදා ගොඩ කර ඇතැයි ගොවීහු චෝදනා කරති.
වැව ගොඩ කිරීම සඳහා ගෙනා බීබීසී ගල් විශාල ප්‍රමාණයක් ගෙනවිත් ඇති ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
වසර සිය ගණන් ඉපැරණි පලු වීර මෙන්ම කොහොඹ ගස් කපා ගොඩගසා තිබූ අතර වැව තුළ ඇති පලු ගස් කපා දැව ලබාගෙන හෝටලය ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ඇති ආකාරය ද ගොවීහු පෙන්වා දුන්හ.
මේ වන විට හෝටලයේ කොටසක් ක්‍රියාත්මක වන අතර වැසිකිළි අපද්‍රව්‍ය කොච්චිපතාන වැවට මුදා හරින ආකාරය ගොවීන් පෙන්වා දුන්නේය.
හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේ ආරම්භ කෙරුණු මොහොතේ සිට මේ දක්වා අදාළ අංශ හා බලධාරීන් සියලු දෙනා දැනුවත් කළ ද ඉදිකිරීම් කටයුතු නතර කිරීමට කිසිදු නිලධාරියකුට නොහැකි වුණේ මේ පිටුපස දේශපාලනඥයකු සිටින නිසා බවත් දේශපාලන බලධාරීන් මෙම හෝටලයේ නිතර පාටි දමන බවද මහාබොධි ගොවි සංවිධානය කියයි.
එක් පැත්තක යාල කැලයෙන් හා සුන්දර කඳු පන්තියකින් වටවී ඇති කොච්චිපතාන වැවෙන් වනසතුන් බොහොමයකගේ පිපාසය සංසිදුවන අතර ගොවි පවුල් 250ක ගේ දිවි ගැට ගහ ගන්නේ ද කොච්චිපතාන වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු කරමින් ය.
අක්කර එකසිය 110 ක පමණ වපසරියක වැව පිහිටා ඇති අතර අක්කර තුන්සියයක් පමණ කුඹුරු අස්වැද්දීම ද සිදු කෙරේ. යල මහ දෙකන්නය වගා කිරීම අසීරු වී ඇත්තේ වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි රඳවා ගැනීමට නොහැකි නිසා බව මහබෝධි ගොවි සංවිධානයේ සාමාජික හිටපු විදුහල්පති ඊ එච් අමරවීර සඳහන් කළේය.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා හෝටලයට ගිය අවස්ථාවේ හෝටලයේ සිටි කළමනාකරු සඳහන් කළේ මේ හෝටලය අයිති අධ්‍යක්ෂක මණ්ඩලයකට මම ඇවිල්ලා මාස තුනයි වෙන්නේ. කොහොම වුණත් ගොවීන් කිව්වට වැඩ කටයුතු නවත්තන්න මට බලයක් නැහැ, යනුවෙන් සඳහන් කළේය.
මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා ගොවිජන සේවා සංවර්ධන නිලධාරී රජිතා රන්සරණි මහත්මියගෙන් කළ විමසීමකදී සඳහන් කළේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් දුරකථනයට ප්‍රතිචාර දැක්විය නොහැකි බවත්ය.
හම්බන්තොට ගොවිජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ කොච්චිපතාන වැව තුළ හෝටල් ඉදිකිරීම සඳහා කිසිදු අවසරයක් ලබාදී නැහැ. වැවෙහි ජලය පිරෙන ප්‍රදේශය තුළ හෝටලයක් ඉදි කරන බවට හා වැසිකිළි අපද්‍රව්‍ය වැවට මුදාහරණ බවට ගොවිජන සේවා නිලධාරීන් විසින් තමාට වාර්තා කර තිබෙනවා. ඊට අදාළ මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

