කොකේන් සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු


(ටී.කේ.ජී.කපිල)

 රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(30 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

38 හැවිරිදි ඇය , ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවකි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , ( " ටෙඩි බෙයාර්'' ) රෙදි වලින් සකස් කර , ඇතුළට පැඩින් නැමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ , කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 323  ක් බර , කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500 ක් සගවා ගෙන පැමිණ තිබුණි .

 මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

 මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .