කෘෂි නියෝජිතයෝ යූරියා මිටියෙන් ගසා කති


(නිමල් ජයරත්න)

පොළොන්නරුවේ ගොවීන්ට රජය මගින් යූරියා පොහොර ලබාදීමේදී ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයන් පොහොර මිටියට බෑවුම් කුලී වශයෙන් තමන්ගෙන් රුපියල් 250, 300, 500,1000 බැගින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගොවීහු චෝදනා කරති.

තමන් විසින්ම එම පොහොර මිටි බා ගන්නා බවත්, එසේ බා ගත්තද සමහර ගොවි සංවිධාන නියෝජිතයන් මෙම යූරියා පොහොර බෑමේ කුලි ලෙස තමන්ගෙන් මුදල් අයකර ගනිමින් අසාධාරණ කම් සිදුකරන බවද ගොවීන් පෙන්වා දෙති.

මේ වනවිට මනම්පිටිය, දළුකාන, ඇල්ලෙවැව, පැළෑටියාව, මගුල්දමන, යන ගොවි සංවිධාන එලෙස බෑමේ කුලි ලෙස රුපියල් 250 සිට 1000 දක්වා එකතු කරගෙන ඇති බවද ගොවීහු සඳහන් කරති.

මෙම චෝදනාව පිළිබඳ පොලොන්නරුව ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් අරුණ නිරෝෂන් වීරකෝන් මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී සඳහන් කළේ තමන් එවැනි මුදලක් ගොවි සංවිධානවලට එකතු කිරීමට උපදෙස් ලබාදී නෑ. ගොවියකු පොහොර මිටියක් සඳහා රුපියල් 10,000 ක මුදලක් ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබාදී තිබෙනවා. එම මුදලට ගොවිජන සේවා මධ්‍යස්ථානයට අදාල පොහොර තොග ප්‍රවාහනය කර දීමෙන් පසු ගොවීන් එය බරගත යුතුයි. වෙනම බෑමේ සහ ප්‍රවාහනය කිරීමේ කුලියක් එකතු කිරීමට තමා උපදෙස් ලබාදී නෑ.