විනීතා එම් ගමගේ
ඊශ‍්‍රායලයේ කෘෂි ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ‍්‍රී ලාංකිකයින්ට වසර පහක් සඳහා වීසා ලබාදීමට ඊශ‍්‍රායල බලධාරීන් එකඟත්වය පළ කර ඇත.
මෙතෙක් ඊශ‍්‍රායල් රැකියා සඳහා වීසා හිමි වූයේ මාස හයක කාලයක් සඳහා පමණි.
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඊශ‍්‍රායලයේ නිල සංචාරයක නිරත නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතා ඇතුළු දූත කණ්ඩායම ඊශ‍්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යංශ ප‍්‍රධානීන් සහ ජනගහන, ආගමන හා දේශසීමා පාලන අධිකාරියේ (ෆීබා) ප‍්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවල දී මෙම එකගතාවයන් ඇති කරගෙන තිබේ.
ජාත්‍යන්තර සංක‍්‍රමණිකයින්ගේ ආයතනයේ මැදිහත්වීම මත අත්සන් කරන ගිවිසුමකින් පසුව කෘෂි කෂේත‍්‍රයේ රැකියා සඳහා වසර පහක වීසා බලපත‍්‍ර ලබාදීමට කටයුතු කරන බවද ඊශ‍්‍රායල බලධාරීන් නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි කාර්යංශයේ නිලදාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ තාවකාලික රැකියා සඳහා පිටත් කර යැවූ ශ‍්‍රී ලාංකිකයින් 500 දෙනාගේ කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් නියමිත වීසා කාලය ඉක්මවීමෙන් පසුව නැවත ලංකාවට පිටත්ව ගොස් නැති බව ඊශ‍්‍රායල බලධාරීන් පෙන්වා දෙන ලදී. එම නිසා එම ප‍්‍රමාණය නව රැකියා කෝටාවෙන් අඩුවන බවද ඊශ‍්‍රායල බලධාරීන් පවසා ඇතැයි හෙතෙම ස`දහන් කළේය.
නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව පෙරලා ලංකාවට පැමිණෙන ශ‍්‍රමිකයින් සඳහා නැවත කෘෂි කෂෙත‍්‍රයේම රැකියා අවස්ථා ලබාදෙන බව ඊශ‍්‍රායල බලධාරීන් ප‍්‍රකාශ කර තිබෙන බවද ඔහු කීය.
මෙම සාකච්ඡා සඳහා ඊශ‍්‍රායලයේ සිටින ශ‍්‍රී ලංකා තානාපති පෙරියසාමි පිල්ලේ සෙල්වරාජ්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙනිය , තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ උපදේශක විජේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කෘෂි ක්ෂේත්‍රයේ රැකියාවලට ඊශ්‍රායලයෙන් අවුරුදු 5 කට වීසා
Recommended Articles