කූඨ ලේඛන හදා ඉතාලියට යන්න ගොස් අමාරුවේ වැටේ


කූඨ ලෙස තැනූ ඉතාලි නේවාසික වීසා කාඩ්පතක් උපයෝගී කරගෙන ⁣එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ඉතාලියට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

අද උදෑසන 2.10 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්වයාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ 558 ගුවන් යානයට ගොඩවීම සඳහා මෙම තරුණයා ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

එහිදී ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඔහු ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා කාඩ්පත අැතුළු ලියකියවිලි සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ හෙයින් ෆ්ලයි ඩුබායි ගුවන් සේවා නිලධාරීන් එම ලේඛන වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයට යොමු කළහ.

එහිදී එම නිලධාරීන් මෙම තරුණයා ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා කාඩ්පත ඇතුළු අනෙකුත් ලියකියවිලි විමර්ශනය කළහ.

එම නිලධාරීන් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් තහවුරු වූයේ ඔහු සතු ඉතාලි නේවාසික වීසා කාඩ්පත කූඨ ලෙස සකස් කර ඇති බවයි. ඒ සමගම මගියා සතුව තිබූ මීට පෙර භාවිත කර අවලංගු කරන ලද ගමන් බලපත්‍රයෙහි තිබූ ශ්‍රී ලංකා සහ ඉතාලි ආගමන හා විගමන මුද්‍රා ද ව්‍යාජ ලෙස සටහන් කර ඇති බව ද අනාවරණය විය.

තවදුරටත් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ මගියා සතු වලංගු ගමන් බලපත්‍රයෙහි ඇතැම් පිටු නිසි ප්‍රමිතියෙන් තොරව ගමන් බලපත්‍රයට ව්‍යාජ ලෙස ඇතුළත් කර ඇති බවයි. එය සිදු කර ඇත්තේ මීට පෙර ඔහු ගමන් කර ඇති ගමනාන්ත පිළිබඳ තොරතුරු වසන් කිරීමේ අරමුණින් බව ආගමන හා විගමන නිලධාරීහු පවසති.

අනතුරුව සැකකටයුතු මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී ඇත.