
(පුෂ්පකුමාර ජයරත්න)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය ආශ්‍රිතව රැඳී සිටිමින් තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පස් දෙනකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් සියළුම දෙනා කුරුණෑගල නගරය අවට පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කුරුණෑගල කාර්යාලයට පැමිණෙන ජනතාවට ලබාදෙන ටෝකන්පත් මෙම පුද්ගලයන් විසින් ලබාගෙන එක් ටෝකන්පතක් රුපියල් තුන්දහසේ සිට පන්දහස අතර මිළ ගණන්වලට විකුණමින් නීති විරෝධී ජාවාරමක නිරතව සිට ඇති බව පොලීසිය කියයි.
මේ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් පෝලිමේ සිටින ජනතාවට ටෝකන්පත් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මීට අමතරව ප්‍රාදේශීය කාර්යාලයේ විවිධ සේවා ස්ථාන වෙත පෝලිමේ නොසිට යොමු කරන බව පවසමින්ද ජනතාවගෙන් මෙම තැරැව්කරුවන් පිරිස මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මේ සඳහා එම කාර්යාලයේ පිරිසකගේ සහායක් ලැබී ඇත්දැයි සොයා බලන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

