කුඩාවැල්ලේ ධීවරයෝ විරෝධතාවයක


(අනීෂා මානගේ)

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් තිබියදී ඇතැම් වෙළඳුන් මසුන් රැගෙන යාමට පිට පළාත්වල සිට කුඩාවැල්ල ධීවර වරායට පැමිණීමට එරෙහිව අද (01) ධීවරයෝ පිරිසක් කුඩාවැල්ල ධීවරවරාය ඉදිරිපිටදී විරෝධාතාවක නිරතවූහ.

මෙම විරෝධතාව සඳහා කුඩාවැල්ල ගම්මානයේ ධීවරයෝ පිරිසක් එක්ව සිටි අතර අද ඇඳිරිනීතිය පවතින කාලයේදී එය නොතකා මොවුන් මෙලෙස විරෝධතාවයේ නිතර වූහ.

කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් මිලදී ගැනීමට වයඹ සහ මධ්‍යම පළාත්වල සිටත් කොරෝනා අවදානම් කලාප ලෙස නම් කළ බස්නාහිර පළාතේ සිටත් වෙළඳුන් පැමිණිම නවතා දෙන ලෙස ධීවරයෝ ඉල්ලා සිටිති.

තවද ජනතාවගේ ආරක්ෂාව උදෙසා කුඩාවැල්ල ධීවර වරාය තාවකාලිකව වසාදමන ලෙසද ධීවරයෝ ඉල්ලීම් කරති.

මෙලෙස අවදානම් කලාපවල සිට හම්බන්තොට දිස්ත්‍රික්කයට පැමිණීමෙන් තම දිස්ත්‍රික්කයේ ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ධීවරයෝ කියති.

විරෝධතාව පැවැති ස්ථානයට තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණි අතර ඔවුහු ධීවරයෝ සමඟ සාකච්ඡා කර පිට පළාත්වල සිට පැමිණෙන කිසිදු රථයකට අද සිට ඉඩ ලබා නොදෙන බවට වූ පොරොන්දු හේතුවෙන් විරෝධතාකරුවෝ විරෝධතාව අවසන් කර විසිර ගියහ.