කුඨලේඛන සැකසීම ගැන පොලිසියට කියන්න’යි ආණ්ඩුකාරයා දිසාපතිට කියයි


(චමිල් රූපසිංහ)

ඉඩම් පවරාදීමේ බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසෙඳන බවත් කුඨ ලේඛන සකසා පිටස්තර අයට පවරා දීමේ සිද්ධිය සම්බන්ධව මාතලේ පොලීසියට පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා අද (09) මාතලේ දිසාපතිවරයාට සහ දඹුල්ල ප්‍රාදේශිය ලේකම්වරයාට දැනුම් දී ඇත.


දඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් සම්බන්දව ප්‍රාදේශීය ලේකම්වරයා ගෙන්වා අදාළ ලිපිගොනු පරීක්ෂා කර ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට කරන ලෙස දැනුම් දුන් බවත්, ඉඩම් පවරාදීමේ බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසෙඳන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කළේය.

මෙම ඉඩම් පවරාදීම් වලදී කූඨ ලේඛණ සකස්කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බැවින් දිසාපති හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට ඒවා කූඨ ලේඛණද නැද්ද යන්න තීරණය කළ නොහැකි බැවින් එය අදළා අංශ වෙත යොමු කළ යුතු බවද ආණ්ඩුකාරවරයා කීය.

රජයේ දේපොළ සදහා කූඨ ලේඛන සැකසීම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද, රජයේ ඉඩම් බලතල අතිරේක දිසාපතිවරුට පවරා ඇති බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවද, අධිකරණය හමුවේ සාක්ෂි සහිත කරුණු දැක්වීම සදහා මෙම සිද්ධියට අදාළ විමර්ශනය පොලිසිය මගින් සිදුකළ යුතු බැවින් ඒ සම්බන්ධව පොලිසීය මගින් පරීක්ෂණයක් කළ යුතුව තිබෙන බවද ආණඩුකාර ලලිත් යූ ගමගේ මහතා වැඩි දුරටත් පැවසිය.