කිලෝ 100ක කේරළ ගංජා උතුරු මුහුදෙන් අල්ලයි


(යොහාන් භාසුර)

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට ආසන්න මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 103 යි ග්‍රෑම් 750 ක්, සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවත් උතුරු නාවික විධානයේ 4 වැනි වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 415 මුර යාත්‍රාව සමඟ වෙරළබඩ මුර යාත්‍රා දෙකක් මෙම මෙහෙයුමට එක්වූ බවත් නාවික හමුදාව පැවසීය.

නාවික හමුදාව පවසන්නේ අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රාව පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් පාර්සල් කිහිපයක් මුහුදට දමා පලා යාමට උත්සහ කළ බවත් එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී ජාවාරම්කරුවන් මුහුදට විසිකළ කේරල ගංජා සහිත පාර්සල් තුනක් සොයාගත් බවත්ය.

මෙම කේරළ ගංජා තොගය අන්තර්ජාතික මුහුදු සීමාවේදී ජාවාරම්කරුවන් ඩිංගි යාත්‍රාවට පටවාගෙන ගොඩබිමට ගෙන ඒමට කළ බවත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.

මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසියට භාර දීමට නියමිතය.