කිරි පැකට් 120000 දහසක් වළ දමලා


(ෂේන් සෙනෙවිරත්න)

දිගන  කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරමින් තිබූ මිලි ලීටර  180 දියර කිරි පැකට් එක් ලක්ෂ විසි දෙදහසක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වළක් කපා වල දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

එම දියර කිරි පැකට් ඇසුරුම් කර තිබූ ඇසුරුම් සමගම බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එම කර්මාන්ත ශාලා භූමියේ වළ දමා ඇති බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

මෙරට උග්‍ර කිරි හිගයක් පවතින මොහොතක මේ ආකාරයෙන් ඒ තරම් දියර කිරි ප්‍රමාණයක් විනාශ කිරීම සම්බන්ධයෙන් එම වෘත්තිය සමිති නියෝජිතයෝ දැඩි විරෝධය පළ කර සිටිති .

ඇතිව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ඩී බී හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ තමන්ටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ මාර්ගයෙන් තොරතුරු ලැබී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි .

රටේ කිරි අර්බුදයක් පවතින මොහොතක මේ ආකාරයෙන් කිරි විශාල ප්‍රමාණයක් විනාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද අමාත්‍යවරයා පැවසීය . සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයෙන් අනතුරුව ලැබෙන වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය .

මේ සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාගෙන් කරුණු දැන ගැනීමට ඔහුගේ දුරකථනය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය