කැවුමාට අයත් දේපල මුදා හරින්නැයි කළ ඉල්ලීම විසිවෙයි


(කවිතා සුබසිංහ) 

කෝටි පන්සියයේ දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා ට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාල නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ දේපල සැකකරුහට මුදා හරින ලෙස විත්තිය විසින් පසු ගිය නඩු වාරයේ දී කළ ඉල්ලීම මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (09) වැනිදා ප්‍රතික්ෂේප කළේය.

කෝටි පන්සියයේ දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා ට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඉකුත්  25 වැනි දා  කැඳවූ අවස්ථාවේ දී නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ දේපල සැකකරුගේ පෞද්ගලික දේපල බැවින් එම දේපල සැකකරු හට මුදා හරින ලෙසට  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සැලකිල්ලට ගන්වමින් නඩු භාණ්ඩ මුදා හැරීම සම්බන්ධ තීන්දුව ලබා දීම සඳහා නඩුව ජුලි මස 09 වැනි දා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණ.

නඩු භාණ්ඩ මුදා හැරීම සම්බන්ධ තීන්දුව ලබා දීම සඳහා අද (09) වැනි දා නඩුව කැඳවූ අවස්ථාවේ දේපල සම්බන්ධ නියෝගය ලබා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පවසා සිටියේ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර ඇති දේපල සැකකරු සාධාරණව උපයාගත් දේපල බවට පිලිගත හැකි තරමේ ප්‍රමාණවත් හේතු සාධක හා කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවයි.

සැකකරුගේ ප්‍රකාශ මත සඟවා තීබියදී නඩු භාණ්ඩ සොයා ගෙන ඇති බැවින් සාධාරණව උපයාගත් දේපල නම් සඟවා තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පොලිසිය විසින් ඉදිරිපත් කළ ඇති කරුණු හා සැකකරුට එරෙහිව ඇති චෝදනා ද සැලකිල්ලට ගැනීමේ දී සැකකරුහට දේපල මුදා හැරීමට නොහැකි බවයි.