කැබ්නට් රැස්වීම සුපුරුදු පරිදි ලබන සතියේ සිට


(අංජුල මහීක වීරරත්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ටජිකිස්ථාන් සංචාරයට පෙර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස නව ප්‍රවණතාවය ඇති කරගත හැකිවූ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කීවේය.

ජනාධිපති හා රජය ඇති කරගත් එකඟතාවය අනුව ලබන අගහරුවාදා (18) සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

මේ අතරම නව ප්‍රවණතාවය ඇතිවීමට ප්‍රථමව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ වගකීම් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 හා 43 වගන්තීන්ට අනුව ඇමැති මණ්ඩලය කැඳවන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා යැවීමට රජය තීරණය කර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය, අමාත්‍ය මණ්ඩලය, ජනාධිපතිවරයාගේ වගකීමට අදාළ 42 වන වගන්තියේ මෙසේ සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය අනුව වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථාපරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය.

විධායකය යටතේ අමාත්‍ය මණ්ඩල වගකීම 43 (1) වගන්තිය යටතේ දක්වා ඇත්තේ පහත පරිදිය.

ජනරජයේ පාලනය මෙහෙයවීම හා ඒ පාලනය බාර අමාත්‍ය මණ්ඩලයත් වන්නේය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සාමූහිකව කටයුතු කිරීමට හා උත්තරදීමට බැදී සිටින්නේය”. 

ජනාධිපති, අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානීයා ද වන්නේය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) යටතේ සඳහන් වන්නේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත ප්‍රතිපාදනය පදනම් කර ගනිමින් කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවන ලෙස දැනුම්දීමට රජය සුදානමින් සිටියත් ඇතිව තිබෙන ප්‍රවණතාවය අනුව ඒ දැනුම්දීම කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.