(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ ආණ්ඩුවල අයවැය නිසියාකාරව ඉදිරිපත් කළා නම් රට මෙවැනි තැනකට වැටෙන්නේ නැහැ. ඒ අය රට වට්ටලා අපි රට ගොඩ ගන්න හදනකොට උපදෙස් දෙනවා.
අපේ රටේ ජනතාවට බලාපොරොත්තු තිබෙන රට ගොඩගත හැකි අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් වෙයි. විශේෂයෙන් වංචා දූෂණ නැති නාස්තිය අවම කරපු මහජන මුදල් සතේටම ගණන් බලා ජනතාව වෙනුවෙන් යොදවන අයවැයක් මෙවර ඉදිරිපත්වන බවට අපගේ විශ්වාසය තිබෙනවා.
විපක්‍ෂයේ අය සඳහන් කළේ අපට ජාත්‍යන්තර සහය නෑ කියලා. නමුත් අපට විශාල වශයෙන් ජාත්‍යන්තරයේ සහය ලැබෙමින් පවතිනවා. ඒ අය අප ආවොත් පෝලිං හැදෙයිි කියා කිව්වා. නමුත් අපි පෝලිං නවතා තිබෙනවා. රුපියල කඩා වැටෙයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා නමුත් ආර්ථික ස්ථාවර වී තිබෙනවා.
මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන්කොට තිබෙන්නේ ආර්ථිකය, අධ්‍යාපනය හා සෞඛ්‍ය වගේ පැති වලටයි. අපි බලය ගත්තේ ආර්ථික වශයෙන් වැටිච්ච රටක. එම නිසා ජනතාවට සහන දීම අවශ්‍යයි. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා. එසේම ආර්ථිකය ස්ථාවර කොට නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ සියල්ල අරමුණු කරගත් දිගු කාලීන අරමුණු සහිත අයවැයකුයි මෙවර ඉදිරිපත් කරන්නේ.
රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගත් ගිවිසුම් අනුව අය කළ යුතු බදු ප්‍රමාණයක් තිබෙනවා. ඒවා එසේ තිබියදීත් හැකි තරම් සාකච්ඡා කොට බදු අඩුකිරීමට පියවර ගෙන තිබෙන බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඒ බව අවධාරණය කර සිටියේ එ මහනුවරට පැමිණ සති අන්තයේ ක්‍රියාත්මක කැන්ඩි ඔවිසි දුම්රියේ ප්‍රවර්ධන සංචාරයකට එක්වෙමින් මහනුවර දුම්රිය ස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.