ඉන්දියාවත් ඩ්‍රෝන යුද්ධයට සූදානම්


පසුගිය දා රුසියන් - යුක්රේන යුද්ධයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින්, යුක්රේනයෙන් රුසියාවට එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරය, බලගතු රුසියානු හමුදාවට අතුල් පහරක් විය. එමෙන්ම, යුක්රේන සෙබළුන්ගේ ධෛර්යය වැඩි කිරීමටද හේතු විය. වාර්තා වෙන අන්දමට, සිදුවුණු හානියේ තරම, ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කි. පසුගිය මැයි 7 වැනිදා ඉන්දියාවත් පාකිස්තානයත් කෙහෙවලු‍ පටලවාගත් අවස්ථාවේ, දෙපාර්ශ්වයම ඔවුන් සතු නියමුවන් රහිත ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා සටනට යොදාගත්තේය. පාකිස්තාන හමුදාව, ඔවුන් සතු තුර්කියේ ‘‘යිහා’’ සහ ‘‘සොන්ගාර්’’ වර්ගයේ ඩ්‍රෝන යානා පොකුරු වශයෙන් ඉන්දීය දේශසීමා ආක්‍රමණය කරද්දී, ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක විය. ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව අඩපණ කෙරුණි. 

ඉන්දීය හමුදාව, ඔවුන් සතු ‘‘නාගාස්ත්‍රා’’ සහ ඊශ්‍රායලයේ නිෂ්පාදිත ‘‘හාර්පි’’ ඩ්‍රෝන යානා යොදාගනිමින් පාකිස්තානයේ ත්‍රස්ත සහ හමුදා ඉලක්කවලට පහර දුන්නේ සැලකිය යුතු අන්දමින් හානි කරමිනි. එකක් පැහැදිලිය. යුද සටන්වලදී, භාවිතයට ගන්නා නවතම මෙවලම නියමුවන් රහිත ඩ්‍රෝන යානාය.

යුක්රේන හමුදා, රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට පෙර, යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කළේ රුසියාවය. රුසියාව, භාවිතයට ගත්තේ ඉරානයේ නිෂ්පාදිත මොහායර් සහ ෂාහෙද් ඩ්‍රෝන යානා ය. යුක්රේනයේ යටිතල පහසුකම් විනාශ කර දැමීම මෙම ඩ්‍රෝන යානාවල ඉලක්කය විය. බුද්ධි වාර්තා අනුව, මේ වෙන විට රුසියාව, ඉරානය සමඟ හවුලේ මෙම ඩ්‍රෝන යානා මහා පරිමාණයෙන් නිපදවීමට සම්බන්ධ වී සිටී.

2020 වසරේදී, ආමේනියාවත් අසර්බයිජානයත් අතරේ දින 44 ක යුද ගැටුම් පැවැතිණි. ඒ දෙරටම අයිතිය ඉල්ලන ‘‘නගොර්නෝ- කරබාක්’’ පළාත මුල්කොට ගනිමිනි. මෙම යුද ගැටුමේ දී, ඩ්‍රෝන භාවිතයට ගැනුණි. සාම්ප්‍රදායික යුද සටන්වලදී ඩ්‍රෝන භාවිතයට ගැනීම කොතරම් බිහිසුණු ද යන්න පසක් කරදීමට, ආමේනියා-අසර්බයිජාන යුද්ධය සමත් විය. තුර්කියේ නිෂ්පාදිත ‘‘බ්රක්ටාර් ටීබී2’’ ප්‍රහාරක ඩ්‍රෝන යානා, ආමේනියානුවන්ගේ ටී72 වර්ගයේ ප්‍රබල යුද ටැංකි ඉතා පහසුවෙන් විනාශ කරන වීඩියෝ දසුන් නරඹද්දී, පෙනී ගියේ යුද ටැංකිවල යුගය අවසන් බවය.

ඩ්‍රෝන යානා භාවිතය අතින් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. කාටත් පෙර, ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, බිහිසුණු ප්‍රහාර එල්ල කිරීම ඇරැඹුවේ ඇමෙරිකන් හමුදාවය. ඇෆ්ගනිස්තානයේත්, පාකිස්තානයේත් තලේබාන් සහ අල් කයිඩා නායකයන් නිවැරදිව ඉලක්ක කර ගනිමින් මාරක ප්‍රහාර එල්ල කළේ එම ඩ්‍රෝන යානාය.

ජගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට අනුව, 2015 සිට 2020 තෙක් කාලයේ ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යොදා ගනිමින් ඇෆ්ගනිස්තානයේ සිදු කළ ප්‍රහාර ගණන 13,072 කි. එම ප්‍රහාරවලින් මියගිය ගණන 10,000 කි. ඒ අතර වැඩි දෙනෙක් සිවිල් වැසියෝ වෙති. 2005 සහ 2018 වසරවලදී, පාකිස්තානයේ ඩ්‍රෝන ප්‍රහාර 430 ක් සිදු වුණු බව තහවුරු වී ඇත. මියගිය ගණන 4,000 කි. එයින් වැඩිදෙනා ද සිවිල් වැසියන්ය.

නියමුවන් රහිත, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වෙන ඩ්‍රෝන යානා ගුවන් හමුදාවේත්, ගොඩබිම සිට සටන් වදින හමුදා සෙබළුන්ගේත් අතරමැදියාය. ඩ්‍රෝන යානා යනු පියාඹන රොබෝවරුන්ය. ප්‍රහාර එල්ල කිරීමට පමණක් නොව, ඔත්තු බලමින් සතුරන් නිරීක්ෂණය කර ආපසු හමුදා කඳවුරුවලට පැමිණීමට ද ඩ්‍රෝන යානාවලට හැකිය. නිහඬව නිරීක්ෂණ කටයුතු කරමින්, නිවැරදි වෙලාවට, නිවැරදි ඉලක්කය හඳුනාගනිමින් මාරක ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන යානාවලට හැකියාව ඇත.

ඩ්‍රෝන යානා සඳහා වැය වෙන්නේ අඩු මුදලකි. එසේ වුවත්, කළ හැකි විනාශය අතිමහත්ය. ඒවාට සතුරුන්ට නොපෙනී, සැඟවී පියාසර කළ හැකිය. මනුෂ්‍ය අපට යා නොහැකි ස්ථානවලට යා හැකිය. කඳු අතරින් බෑවුම් අතරින් පියාසර කරමින්, සතුරු බිම් මැදට යමින් අවශ්‍ය තොරතුරු රැස්කිරීම කළ හැකිය. අනවශ්‍ය ලෙස ජීවිත හානි අවම කරමින්, අදාළ ඉලක්කය පමණක් විනාශ කිරීමේ හැකියාව ද ඩ්‍රෝන යානා සතුය. සතුරන් තුළ බියක් ඇති කිරීමට, කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වේවි යැයි අවිනිශ්චිත ආතතියක් නිර්මාණය කිරීමට ඩ්‍රෝන යානා සමත් වී අවසන්ය.

විවිධාකාරයේ ඩ්‍රෝන යානා අද කරළියට පැමිණ ඇත. ලොකු, කුඩා, කෙටි දුර සහ දිගු දුර ඩ්‍රෝන යානා ඇත. ඒවා සැලැසුම් සහගතව ඕනෑම ඉලක්ක ගත තැනකට යැවිය හැකිය. සටන් සඳහා, අවි ආයුධ හෝ පුපුරණ ද්‍රව්‍යවලින් ඒවා සන්නද්ධ කළ හැකිය. ස්වයංක්‍රීයව, නිවැරදිව සතුරන් අඩපණ කිරීමට ඇති හැකියාව නිසා ඩ්‍රෝන යානා වාර්තමාන යුද පිටියේ පෙරළියක් කිරීමට සමත් වී තිබේ.

පසුගිය දා ඉන්දියාවේ බෙංගලූරුහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රදර්ශනයක් පැවැත්විණි. එහිදී ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් ඩ්‍රෝන යානා ගැන අදහස් දැක්වීමක් කළේ මෙලෙසිනි.

‘‘අද යුද්ධයක් ඇවිළී ගියොත්, හමුදාවට සෙබළුන් යැවීම ඕනෑ වෙන්නේ නැහැ. ප්‍රහාරක නියමුවන් සමඟ ප්‍රහාරක යානා ඕනෑ වෙන්නේ නැහැ. ඕනෑ වෙන්නේ ඩ්‍රෝන යානා පමණයි’’ 

ප්‍රහාරක ඩ්‍රෝන යානා පමණක් නොව, ඩ්‍රෝන ප්‍රහාර වළක්වන ඩ්‍රෝන ප්‍රතිප්‍රහාර පද්ධති පවා ඉන්දීය හමුදාව සතුව තිබේ. මේවා හමුදා කටයුතුවල දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙසේ කියන්නේ, ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් ආරක්ෂක අංශයේ ප්‍රධානී ලු‍තිනන් ජනරාල් සුමෙර් ඉවාන් ද චුන්හා ය. 

“ඉස්සර අප ප්‍රහාර සඳහා ගන්නා අවි ආයුධ ගැන සිතුවා. ප්‍රහාරක ජෙට් යානා ගැන සිතුවා. කොතරම් ප්‍රමාණයක, කොතරම් ප්‍රබල ආයුධ රැගෙන යෑම කළ යුතුදැයි සිතුවා. ඒත් ඩ්‍රෝන කරළියට පැමිණීමත් සමඟ ආයුධවල ප්‍රමාණය හෝ ඒවායේ ප්‍රබලත්වය හෝ වැදගත් වෙන්නේ නැහැ. දැන් විවිධාකාරයේ ඩ්‍රෝනවලට විවිධ ආයුධ සම්බන්ධ කළ හැකියි. සාම්ප්‍රදායික ආයුධ වෙනුවට, ඩ්‍රෝන අවි නිර්මාණය කරනවා” යැයි ලු‍තිනන් ජනරාල් සුමෙර් ඉවාන් ද චුන්හා අවධාරණය කර ඇත.

“සතුරා ප්‍රහර දීමට පෙර, සතුරා හඳුනාගෙන පහර දීම ඉන්දීය හමුදාවේ ගුවන් ආරක්ෂක අංශයේ අරමුණය. නියමුවන් රහිත ඩ්‍රෝන යානාවලින් එල්ලවෙන තර්ජන අඩපණ කර දැමීම ද ඉන්දීය හමුදාවේ ගුවන් ආරක්ෂක අංශයේ වගකීමක්.” යැයි ලු‍තිනන් ජනරාල් සුමෙර් ඉවාන් ද චුන්හා පැහැදිලි කරයි.

නියමුවන් රහිත ඩ්‍රෝන යානාවලින් එල්ල වෙන තර්ජන අඩපණ කරන ඩ්‍රෝන නාශක පද්ධතිවල ප්‍රධාන කාර්යය වෙන්නේ, ඩ්‍රෝනවලට ලැබෙන සංඥා අවුල් කර ඒවා අඩපණ කිරීමය. සංඥා අවුල් කිරීමට ලේසර් කිරණ භාවිතයට ගැනීම සිදුවෙයි. එමෙන්ම, අධිබලැති මයික්‍රෝ තරංග භාවිතයට ගැනීම ද සිදුවෙයි. ඩ්‍රෝන යානා මෙහෙයවීම සිදුවෙන්නේ දුරස්ථ පාලනයෙන්, හමුදා පාලක මැදිරියක සිටයි. එම පාලක මැදිරියේ ඩ්‍රෝන ක්‍රියාකරවන හමුදා තාක්ෂණ ශිල්පීන් ප්‍රහාරක ඩ්‍රෝන යානාවලට ලබා දෙන සංඥා, එසේත් නැතිනම් පණිවුඩ, විරුද්ධ පාර්ශ්වය විසින් විසන්ධි කළහොත්, ප්‍රහාර සඳහා පැමිණෙන ඩ්‍රෝන යානා අඩපණ වෙයි. නිවැරදි ඉලක්කයට පියාසර කිරීම හෝ ප්‍රහාර එල්ල කිරීම ඒවාට කළ නොහැකි වෙයි. 

ඩ්‍රෝන යානා හඳුනා ගැනීම සහ හසුකර ගැනීම සඳහා විශේෂ පද්ධතියක් ඉන්දීය හමුදාවේ ගුවන් ආරක්ෂක අංශයට අලු‍තින් එක් කර ඇත. මෙම පද්ධතිය නිර්මාණය කළේ භාරත් ඉලෙක්ට්‍රෝනික්ස් නමැති ඉන්දීය රජයේ අනුග්‍රහය ලබන සමාගම විසිනි. එය වැඩි දියුණු කළේ ආරක්ෂක පර්‌යේෂණ සහ සංවර්ධන සමාගමයි. ඩ්‍රෝන යානා හඳුනා ගැනීම සහ හසුකර ගැනීමේ පද්ධතියත් දෙමුහුම් පද්ධතියකි.

හමුදා සේවය වෙනුවෙන් වසර 21 ක් කැප කළ, ඉන්දීය හමුදාවේ විශ්‍රාමික ලු‍තිනන් කර්නල් නරේන්ද්‍ර ත්‍රීපති, ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති විශේෂඥයෙකි. ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පමණක් නොව, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ද රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් ද ඔහුට විශේෂ දැනුමක් ඇත. “ඩ්‍රෝන යානාවලට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් අඩපණ කිරීම අභියෝගයක්. ලේසි පහසු දෙයක් නොවෙයි. සියයට 100 ක් එය සාර්ථකව කර ගැනීමට හැකියාව තවමත් ලැබී නැහැ. ඉන්දීය හමුදාව පමණක් නොවෙයි; ලෝකයේ සෙසු හමුදා ද ඩ්‍රෝනවලින් එල්ල වෙන තර්ජනවලට නිරන්තරයෙන් මුහුණ දෙනවා.” යැයි විශ්‍රාමික ලු‍තිනන් කර්නල් නරේන්ද්‍ර ත්‍රීපති පවසයි.

ප්‍රහාරක ඩ්‍රෝන යානා, තනි තනිව පමණක් නොව, සමූහ වශයෙන් ද පැමිණෙයි. බොහෝ ඩ්‍රෝන යානා බල ගැන්වෙන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙනි. ලේසර් කිරණ තාක්ෂණය, මයික්‍රෝවේව් තාක්ෂණය යොදාගනිමින්, සතුරු ඩ්‍රෝන අඩපණ කිරීම තවමත් පවතින්නේ ආරම්භක අදියරේයි. කුඩා ඩ්‍රෝන යානා ගුවනේ දී දියත් කිරීම සිදු කරන්නේ මවු ඩ්‍රෝන යානාවලිනි. මේ මවු යානා විශාල ඩ්‍රෝන යානා හෝ නාවික යාත්‍රා විය හැකිය. මේ ඩ්‍රෝන යානා විවිධාකාරයේ හමුදා මෙහෙයුම් සඳහා භාවිතයට ගැනෙයි. 

පොකුරු වශයෙන් ප්‍රහාර සඳහා පැමිණෙන ඩ්‍රෝන එකිනෙක සම්බන්ධ වෙන්නේ ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙනි. මේවා සතුරු බලය සැණින් අඩපණ කරයි. අනාගතයේ යුද පිටියේ ආධිපත්‍යය පතුරුවනු ඇත්තේ මෙවැනි පොකුරු වශයෙන් පැමිණෙන ඩ්‍රෝන යානා ය. මේ අයුරින් පොකුරු ලෙස පැමිණෙන ඩ්‍රෝන, සාම්ප්‍රදායික ගුවන් ආරක්ෂක පද්ධතියකට අඩපණ කළ නොහැකි යැයි විශ්‍රාමික ලු‍තිනන් කර්නල් නරේන්ද්‍ර ත්‍රීපති පෙන්වා දෙයි.

ඉන්දීය හමුදාව සතුව දේශීය වශයෙන් නිපදවූ සහ විදේශවලින් මිලදී ගනු ලැබූ ඩ්‍රෝන බළඇණියක් ඇත. ඔත්තු බලමින් බුද්ධි තොරතුරු රැස්කිරීම හෝ ප්‍රහාර එල්ලකිරීම ඒවායේ ප්‍රධාන අරමුණු වෙයි. ඔත්තු බලමින් බුද්ධි තොරතුරු රැස්කිරීමට ඉන්දීය හමුදාව සතුව ඇත්තේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හොරොන් සහ රීසර්චර් 2 වර්ගයේ ඩ්‍රෝන යානාය. ඉන්දියාවේ නිෂ්පාදනය වෙන්නේ නිෂාන්ත් සහ රස්ටම් යන ඩ්‍රෝන යානාය.

ඉන්දියාව, ඇමෙරිකාව සමඟ ඇති ගිවිසුම් ඇති කර ගත්තේ, එම්.කියු. 9බී ප්‍රෙඩේටර් ඩ්‍රෝන 31 ක් ලබා ගැනීම සඳහාය. ඉන්දියාව දේශීය වශයෙන් රස්ටම් 2 යනුවෙන් නව ඩ්‍රෝන යානයක් නිපදවමින් සිටී. එය වඩා දියුණු, අති නවීන තාක්ෂණය යොදා ගෙන කරන නිර්මාණයක් යැයි පැවසෙයි. 

ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානා නිපදවීම සිදු කෙරේ. නාගස්ත්‍රා 1 යනු එවැනි ඩ්‍රෝන යානා වර්ගයකි. ඉන්දීය හමුදාව භාවිතයට ගන්නා ඊශ්‍රායලයේ නිෂ්පාදිත හාර්පි ඩ්‍රෝන යානා ද එසේමය. මේ වෙන විට ඉන්දියාව දේශීය වශයෙන් ආචර් නමින් ඩ්‍රෝන යානාවක් නිර්මාණය කරමින් සිටී. ඒ, නාවික හමුදා මෙහෙයුම් සඳහාය. මේ සියලු‍ කටයුතු සඳහා ඉන්දීය රජයේ මැදිහත්වීම සහ සහාය හිමිවෙයි. “ඩ්‍රෝන යානාවලට පුළුවන් නිවැරදිව ඉලක්කය හඳුනාගෙන ඉලක්කයට පමණක් පහර දෙන්න. ඩ්‍රෝන යානා ක්‍රියාකාරීත්වය මිනිසා සහ තාක්ෂණය එක් වී, ඒකාබද්ධව සිදු කරන්නක්. යුද පිටියේ පෙරළියක් කිරීමට ඩ්‍රෝන යානා සමත් වී තිබෙනවා.” යැයි ඩ්‍රෝන තාක්ෂණයේ පෙරළි කරන, රජයේ අනුග්‍රහය ද ලබන නිව් ස්පේස් පර්‌යේෂණ සහ තාක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ සමීර් ජෝෂි පවසයි.

ෂේෂෑන්ග් 150 නමැති ඩ්‍රෝන යානා පොකුරු නිපදවීම කරන්නේ නිව් ස්පේස් පර්‌යේෂණ සහ තාක්ෂණ සමාගමය. මෙම ඩ්‍රෝන පොකුරුවලට කිලෝ මීටර් 1,000 ක දුරක් යා හැකිය. පැය පහකට වැඩි කාලයක් ගුවනේ සැරිසැරීම කළ හැකිය. සජීවීව කරන ඔත්තු බැලීම් එසැණින් වීඩියෝ කැමරා සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පාලන මැදිරියට ලබා දීම කළ හැකිය. ආරක්ෂක හේතුන් සැලකිල්ලට ගනිමින් මෙම ඩ්‍රෝන යානාවල සැබෑ හැකියාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත.
පරාස් ඩිෆෙන්ස් තාක්ෂණික සමාගම පෞද්ගලික අංශයේ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පෙරළිකාර නිපැයුමක් ඉදිරිපත් කර ඇත. “අපේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සතුරු ඩ්‍රෝන හසුකර ගැනීම සහ ඒවා අඩපණ කිරීමයි. අපේ තාක්ෂණය ඉහළයි. හැබැයි වියදම් අඩුයි. විවිධ ක්ෂේත්‍රවලට අදාළව අපි මෙම ඩ්‍රෝන යානා නිපදවීම කරනවා” යැයි පරාස් ඩිෆෙන්ස් තාක්ෂණික සමාගම ප්‍රධානී අමිත් මහජාන් පවසයි. 

ඩ්‍රෝන තාක්ෂණය ගැන කාටත් වඩා හොඳින් දන්නේ, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ය. ඔහු, ඔහුගේ එක්ස් (X) ගිණුමේ මෙසේ පවසා ඇත. “සමහර මෝඩයෝ තවමත් එෆ් 35 ප්‍රහාරක ගුවන් යානා නිපදවනවා. ඒත් දැන් ඒවා යල් පැනලා. ඩ්‍රෝන තමයි අනාගතය.” බිලියනපති ව්‍යාපාරික මස්ක් මෙසේ අදහස් දැක්වූයේ ඩ්‍රෝන පොකුරු ගුවනේ සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද ප්‍රසිද්ධියට පත් කරමිනි. මස්ක් මෙසේ කීවේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එරට නිෂ්පාදිත එෆ් 35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ඉන්දියාවට විකිණීමට උත්සාහ ගනිද්දීය.

ගෝලීය වශයෙන් ඩ්‍රෝන යානා නිපදවීම අතින් පෙරමුණේ සිටින්නේ චීනය, ඇමෙරිකාව, තුර්කය සහ ඉරානයයි. ඉන්දියාව සිටින්නේ පසුගාමී තැනකය. දේශීය වශයෙන් ඩ්‍රෝන තාක්ෂණය දියුණු කරමින්, ඩ්‍රෝන නිෂ්පාදනය පුළුල් කළ යුතු බව ජියෝ නැවිගේෂන්ස් ටෙක්නොලජීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සායි පටාබිරම්ගේ අදහසයි. ඉන්දියාවට ප්‍රහාරක ඩ්‍රෝන නිපදවීම සම්බන්ධයෙන් ගැටලු‍ මතු වී ඇත්තේ, ඩ්‍රෝන නිෂ්පාදනයේ දී ඊට අවශ්‍ය කොටස් ආනයනය කිරීමට සිදුවීම නිසාය. ඉන්දියාව තුළ ඩ්‍රෝන නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට නම්, ඉන්දිය රජයේ සහාය පූර්ණ වශයෙන් ඊට ලැබිය යුතුය. එසේ ලැබෙන්නේ නම් 2030 වසර වෙද්දී, ඉන්දියාව ඩ්‍රෝන තාක්ෂණය අතින් ගෝලීය වශයෙන් ඉදිරියට යෑමට හැකි වෙනු ඇතැයි සායි පටාබිරම් වැඩිදුරටත් පැහැදිලි කරයි. ඇමෙරිකන් ඩ්‍රෝන තාක්ෂණයට නොදෙවැනි අයුරින් ඩ්‍රෝන නිපදවීමට ඉන්දියාව සමත් වෙනු ඇතැයි ද සායි පටාබිරම් විශ්වාසය පළ කරයි.

“ඉන්දියාව තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටිනවා. ඩ්‍රෝන සඳහා ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගැනීම කළ යුතුයි. අනාගතයේ යුද පිටියේ වැඩි ඉල්ලු‍මක් පවතිනු ඇත්තේ පොකුරු ඩ්‍රෝනවලටයි. ඒ සඳහා ඉන්දියාව යොමු විය යුතුයි. දේශීය වශයෙන් ආරම්භ කර ඇති ඩ්‍රෝන නිෂ්පාදනය තව තවත් නව්‍යකරණය විය යුතුයි.” යැයි පටාබිරම් වැඩි දුරටත් පැහැදිලි කරයි.

සාම්ප්‍රදායික යුද උපක්‍රම වෙනස් කිරීමටත්, ඊට අභියෝග කිරීමටත් ඩ්‍රෝන යානා සමත් වී ඇත. පිරිවැය අඩු සහ නිවැරදිව ඉලක්ක හඳුනාගෙන ඊට පහර දීමට සමත් ඩ්‍රෝන යානා යනු අනාගතයේ ගුවනින් එන මාරයායි.

වික් සඟරාව ඇසුරිනි
ලු‍සිත ජයමාන්න