කැකුණගොල්ල බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගත් අයගේ විස්තර ඉල්ලයි


(පුෂ්පකුමාර ජයරත්න)

කොරෝනා වයිරසය ආසාදිනය වූ කටුපොත කැකුණගොල්ල පදිංචි කාන්තාව ප්‍රතිකාර ගත් බව කියන කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන එම ප්‍රදේශයේ පදිංචි 125 දෙනෙකුට ආසන්න පිරිසකට හැකි ඉක්මනින් පැමිණ තමන්ගේ විස්තර පොලිසියට ලබා දෙන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එම කාන්තාව මේ වනවිට අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය කොරෝනා ආසාදිතයෙකු බව අනාවරණය වීමට පෙර පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ඇය එදින පෙරවරු 8.00 සිට දහවල් 11.00 වන තෙක් එම බෙහෙත් ශාලාවේ රැඳී සිට ඇති බවද තොරතුරු ලැබී තිබේ.

මේ වනවිට එම බෙහෙත් ශාලාව වසාදමා එහි සේවය කළ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන අතර කුලියාපිටිය පොලිසියේ 037 - 2247474 දුරකථන අංකයට  විස්තර ලබා දෙන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.