කාන්තාවක් පැහැරගෙන දේපොළ කොල්ලකෑ අයෙක් අල්ලයි


(බී.ජී.චතුරංග )

ව්‍යාපාරික කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් නිවසක සිර කර, මරා දමන බවට පවසා, ඇය සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ල කෑ සැකකරුවෙකු, මෝටර් රථයක්, ලක්ෂ  3කට වැඩි මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සමග  අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර,  තලාව, කුමාර එලිය, ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකි. 

අනුරාධපුර, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි 48 හැවිරිදි , කාන්තාවක් සිදු කල පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස්  සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇති පැමිණිලිකාර කාන්තාව , අනුරාධපුර මාතලේ හන්දිය, කුරුන්දන්කුලම  සහ මිහින්තලේ ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳ සැලක්, ආපන ශාලාවක්, කාමර කුලියට දෙන ස්ථානයක්, පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් කරයි.

මීට මාස හයකට  පමණ පෙර පැමිණිලිකාර  කාන්තාව පවත්වා ගෙන ගිය  ආපන ශාලාවේ රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා පැමිණි පුද්ගලයකු, මෙලෙස එම  ව්‍යාපාරික කාන්තාව පැහැර ගෙන ගොස් බෙල්ලට මන්නා පිහියක්  තබා ඇය සතු මුදල් හා දේපල කොල්ල කා තිබූ බව පොලීසිය කියයි.