කළුකන්දාවට තාවකාලික ඡන්ද මධ්‍යස්ථානයක්


( තුසිත කුමාර ද සිල්වා)

පාලින්දනුවර  කළුකන්දාව ජනතාවට තාවකාලිකව  ඉදි කරන කුටියක් තුළ  ඡන්ද  මධ්‍යස්ථානයක් ඉදිකර ඡන්ද ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි උපදෙස් දුන් බව කළුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සහ කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා අද (22) පැවසීය.

රජයේ පොදු ගොඩනැගිලි හෝ විහාරස්ථානයක් නොමැතිවීම හේතුවෙන් මෙලෙස ඡන්ද මධ්‍යස්ථානයක් ඉදි කරන්නට උපදෙස් ලබා දී තිබේ.
 
මෙම ඡන්ද මධ්‍යස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ අඩුම ඡන්ද සංඛ්‍යාවක් වන ඡන්ද 52 ක් පමණක් තිබෙන පවුල් 20 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කරන පාලින්ද නුවර ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් කළුකන්දාව දුෂ්කර ග්‍රාමයේ ඡන්ද මධ්‍යස්ථානය වන බව කළුකන්දාව ග්‍රාමනිධාරී එස්.ප්‍රසන්ත මහතා ප්‍රකාශ කරයි.
 
කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතාගේ හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රිමාන්ත යන මහත්වරු උපදසේ මත මෙම ගම්මානයේ තාවකාලිකව ඉදිකරන ඡන්ද මධ්‍යස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් උපයෝගී කර විදුලිබලය ලබාගෙන මැතිවරණ හා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සේවා පහසුකම් සැපයීම සිදුකරන අතර දෙහිහේන, මාන්නවත්ත සහ කළු කන්දාව යන ගම්මාන තුනහි ඡන්ද දායකයන් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය පිහිටුවන බවක් කියයි.
     
බස්නාහිර පළාතට අයත් අවසාන දුෂ්කර ගම්මානය මෙය වන බවත් කලවාන අත්වැල්තොට සිංහරාජය, දික්හේන මාර්ගයේ කිලෝමීටර් 17 ක් පැමිණි විට මෙම ඡන්ද මධ්‍යස්ථානය තිබෙන කළුකන්දාව ගම්මානය හමුවන බවත් මෙම ගම්වාසීන් සියළුදෙනා කිතුල් කර්මාන්තයෙන් දිවිගෙවන බවත් ග්‍රාමනිලධාරි මහතා වැඩිදුරටත් පැවසීය