කලාකරු නිවාස වල වැඩ ටික දිනකින් ඇරැඹෙයි


(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඊට අදාළ මූලික එකඟතාවලට දැනටමත් එළැඹ ඇතැයිද එම අධිකාරිය සදහන් කරයි. 

මූලික එකඟතාව සදහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී  සිදු කෙරිණ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ චීන රජය වෙනුවෙන් සෙන්ට්‍රල් සවුත් ආකිටෙක්චරල් ඩිසයින් ඉන්සිටියුට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ ලේකම් ෂෙන් ටාඕ මහතා ඊට අත්සන් තැබිණ. 

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1,996 ක් ඉදිකිරීම වෙනුවෙන් චීන රජය යුවාන් මිලියන 552 ක ආධාරයක් (රුපියල් බිලියන 29 ක්) ලබා දීමට නියමිතයි. ස්ථාන 5 ක මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතය. ඒ සදහා තෝරා ගෙන ඇත්තේ පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන නාගරික ප්‍රදේශයි. 

මෙම නිවාස ව්‍යාපෘති 5 න් කොට්ටාව නිවාස ව්‍යාපෘතිය මෙරට ජ්‍යෙෂ්ට කලාකරුවන් සදහා වෙන් කර තිබේ. එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 108 කි. නිවසක ප්‍රමාණය වර්ග අඩි 750 කි. අනෙක් ව්‍යාපෘති 4 අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වෙන් කර ඇති අතර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 1,888 කි.