කරුවලගස්වැව ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පුත්තලම රෝවන් පෙරේරා)

කරුවලගස්වැව ඕල්ලුක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් අද (13) ඩෝසර් කරන අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවී ඇතිබව කරුවලගස්වැව පොලිසිය පැවසීය.

පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බලකා ඒකකය විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කර පුපුරවා හැරීමට කටයුතු කළ බව කරුවලගස්වැව පොලිසිය කියයි.

අදාල පෞද්ගලික ඉඩමේ හිමිකරුවන් විසින් ඉඩම ඩෝසර් කරමින් තිබිය දී උරයක බහා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇති බව පොලිසිය කීය.

පුපුරණ ද්‍රව්‍ය තොගයේ ටී 56 උණ්ඩ 21 ක් , ආලෝකය විහිදුවන පැරා 2 ක්, ටී 56 මැගසින් 1ක් සමඟ විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බ හතරක් මෙලෙස උරයක බහා තිබීයදී හමුවී ඇති බව පොලිසිය පැවසීය.

අදල ඉඩම් හිමිකරු එම බෝම්බ හමුවීමත් සමඟ කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබූ අතර කරුවලගස්වැව පොලිසිය පුත්තලම අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයකින් පසුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කළේය.