කරුණාට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 

කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක්  ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් නොකරම පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණි.

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නියෝග ලබා දෙන ලදී.

කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයකු හා උපකාරක පන්ති ගුරුවරයකු වූ බෝසෙත් කලෙහේපතිරණ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත්  කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ යළිත් විජේසුන්දර මහතා මාර්ගයෙන් ගොනු කළ රීට් පෙත්සමේ මෙසේ ද සඳහන් විණි.

පෙත්සම්කරු වෘත්තීයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වේ.එසේම කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයකුද වේ.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදී.

ඉකුත් ජුනි 20 වැනි දා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වයිරසයට වඩා භයානක පුද්ගලයකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000 ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.

මීට අමතරව ඉකුත් ජුලි 3 වැනිදා ද කරුණා අම්මාන් විසින් කොටි නායක ප්‍රභාකරන් විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා මැරීමට උපදෙස් දුන් බවත් , එසේ කළා නම් කිසිදු ගැටලුවක් දැන් නැතැයි යනුවෙන් ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරනු ලැබ ඇත.

මෙම ප්‍රකාශ දෙක තුළින් කරුණා අම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294  යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත.

සාක්ෂි ආඥා පනතේ 17(1)  වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලීසියට පැමිණිලි කර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.

එබැවින් විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් වන්දියක් අය කර දෙන්නැයි ද පෙත්සමින් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරනු ලැබ ඇත.