කබ්රාල්ට එරෙහි පෙත්සමට විරෝධතා ඇත්නම් ගොනු කරන්නැයි දැනුම් දෙයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයේ කටයුතු කිරීම  වළකාලන අතුරු නියෝගයක්  නිකුත් කරන ලෙස ඉල්ලා දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති මහතා ගොනු කළ රිට් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත්  කිරීමට අභියාචනාධිකරණය පෙත්සමේ  වගඋත්තරකරුවන්ට  අද (22) කල් ලබා දෙන ලදී.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා ලබන තිස් වන දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියම කළේය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ අද කැදවිණි.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මෙම නඩුවට අදාළ ලේඛන ලැබුණේ ඊයේ (21)  රාත්‍රියේ බවත් ඒවා අධ්‍යයනය කර සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.