
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටට පලාගොස් සැඟව සිටින පාතාල සාමාජිකයෙකු ගේ උපදෙස් මත කොස්ගම කලුඅග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා වරින් වර විවිධ තර්ජනය කළ එම පාතාල සාමාජිකයාගේ ගෝලබාලයන් හයදෙනකු හංවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට පත් වූවන් අතර අපරාධ වලට සම්බන්ධ වූ කඩයා , මාලුවා,හා අශාන් නැමැත්තන් වන බව පොලිසිය කියයි
එම සැකකරුවන් සමඟ කඩු හතරක් ,විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක් ,මෙරට නිෂ්පාදිත බෝම්බයක් ,මෙරට නිෂ්පාදිත ගල් ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ,තර්ජන එල්ල කිරීම සඳහා යොදාගත් යතුරුපැදි දෙකක් තී රෝද රථයක් මෙන්ම වැහි කබා දෙකක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත
පාතාල නායක සමයන්ගේ ඝාතනයෙන් අනතුරුව ඔහුගේ අණසක පැතිරවූ ඌරු ජුවා නැමැත්තා ද පොලිස් වෙඩි පහරකින් මිය යාමෙන් අනතුරුව එම අණසක පතුරවමින් කප්පම් ලබා ගැනීමේ නිරත වූ පාතාල සාමාජිකයා අනතුරුව ඩුබායි රටට පලාගොස් එහි සිට හංවැල්ල ප්‍රදේශයේ විවිධ ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය කරමින් ඉකුත් කාලය පුරා කප්පම් ලබා ගැනීමට උත්සාහයක යෙදුණු බව පොලිසිය කියයි
ඒ අනුව කොස්ගම කලු අග්ගල ප්‍රදේශයේ වාහන විකිණීමේ ව්‍යාපාරයක හිමිකරුවෙකු ගෙන් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා ඉකුත් දිනවල ඩුබායි රටේ සිට එම පාතාල සාමාජිකයා ව්‍යාපාරිකයා වෙත දුරකථන ඇමතුම් දෙමින් තර්ජනය කළ තිබූ බව පොලිසිය කියයි
එම තර්ජනයට බියෙන් ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොකර සිට ඇති අතර ඉකුත් 6 වෙනි දින රාත්‍රී කාලයේදී ඔහුගේ වාහන අලෙවි සැලට යතුරුපැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනකු එහි නවතා තිබූ ලොරි රථයකට ගිනි ගිනි තබා පලාගොස් තිබූ අතර එය දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමෙන් විශාල විනාශයක් වැළකි ගොස් තිබූ බව පොලිසිය කියයි
එම සිද්ධිය සහ තමන්ට පාතාල සාමාජිකයා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා කරන ලද මරණීය තර්ජනය සම්බන්ධයෙන් ඉකුත් 7 වෙනි දින ව්‍යාපාරිකයා හංවැල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
එයින් දින කීපයකට පසුව එනම් 20 වෙනි දින ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිටට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරික නිවස වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ද ගිනි අවිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් එම උත්සාහයද අසාර්ථක වී තිබූ බව පොලිසිය කියයි
එම සිද්ධිය සමඟ ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වහා පරීක්ෂණ සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාට උපදෙස් ලබා දී තිබිණි
ඩුබායි රටේ සිටින පාතාල සාමාජිකයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ද මෙරට සිදුකරන අතර අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින් මත් කුඩු වලට ඇබ්බැහි වූවන් මේ සඳහා යොදාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා ඔහුන් වෙත ලබාදීමෙන් අනතුරුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබිණි
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට ලද රහසිගත තොරතුරක් අනුව ව්‍යාපාරිකයාගේ වාහන අලෙවි සැලට ගිනි තැබීමට සහ ව්‍යාපාරිකයාගේ හංවැල්ල නෙලුවත්තුඩුව නිවසට වෙඩි තැබීමට පැමිනි පුද්ගලයන් හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබිණි
ඒ අනුව හංවැල්ලේ මාළුවා නමැති අපරාධකරු තියුණු ආයුධ දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟවී සිටින පාතාල සාමාජිකයන් ගේ උපදෙස් මත ව්‍යාපාරිකයාට නොයෙක් ආකාරයෙන් හිරිහැර කිරීම සඳහා පැමිණි අනෙකුත් පුද්ගලයන් ද හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි’
ඒ අනුව ලහිරු ගම කඩයා හා අශාන් නැමැති පුද්ගලයා ඇතුළු අනෙකුත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
සැකකරුවන්ට ගිනිඅවිය හා අනෙකුත් අවි ආයුධ ලද ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟවී සිටින පාතාල සාමාජිකයා නාඳුනන පුද්ගලයන් මාර්ගයෙන් මෙම අවි ආයුධ ලබාදුන් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි
එම ගිනි අවිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී . ත්‍රීරෝද රථයෙන් අගුනුකොලපැලැස්ස ට ගොස් මෙම ගිනි අවිය රැගෙන ආ බවත් ඒ සඳහා රුපියල් දස දහසක් ගෙවිය යුතු නමුත් එම මුදල් ද මෙතෙක් ලබා දුන් නොදුන් බවට සැක කරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ඇත
අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් හංවැල්ල සහ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සහ 41 අතර පසුවන තදින්ම හොරයින් මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බව පොලිසිය කියයි
සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



