(අංජුල මහික වීරරත්න)
කථානායක අශෝක රන්වල මහතාගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබූ ආචාර්ය උපාධි නාමය අද(10) දින වන විට ඉවත්කර ඇතැයි ද මෙම කාරණයට පිළිතුරක් දෙන්නට නොහැකි නම් කථානායකවරයා වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවක දී පැවැසුවාය.
කථානායකවරයා පශ්චාත් උපාධිය කළ බව කියන ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ එවැනි තැනැත්තකුගේ නමක් සඳහන්ව නැතැයි කී අතුකෝරල මහත්මිය මේ අනුව බලන විට මාලිමාවේ මහාචාර්යවරු ආචාර්යවරු ඇත්තම උදවියද කියා සාධාරණ සැකයක් ඇතිවෙන බවද සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ තලතා අතුකෝරළ මහත්මිය මෙසේද කීවාය.
අවුරුදු හැත්ත හයක් තිස්සේ රට පාලනය කළ පක්ෂ විසින් මේ රට විනාශ කළ බවට ජාතික ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මතයක් ගෙන ගියා.ඒ අනුව පාර්ලිමේන්තුව සුද්ද කරන්න ජනවරමක් ඉල්ලුවා. අද වන විට මේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකවරයා පිළිබඳ විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් තිබෙනවා.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ උපාධි අධ්‍යාපන සුදුසුකම් ආදිය පළ කෙරෙනවා. මුලින්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ ආචාර්ය අශෝක රන්වල යන නමයි.නමුත් අද වන විට කානායකවරයාගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය යන වචනය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැලවී තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවට සමාජ ක්‍රියාකාරීනී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ද සහභාගී වූවාය