කතරගමට එන බැතිමත්තු ආපසු යති


(කේ.ඩී.දේවප්‍රිය)

ඓතිහාසික  රුහුණු මහා කතරගම දේවාලයේ  ඇසළ පෙරහර  උත්සවය සඳහා  සහභාගී වීමට  පැමිණි  බැතිමතුන්  ආපසු හරවා යැවීමට අද (21) උදෑසන සිට ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කරති. කොරෝනා වසංගතය සමඟ රටේ පවතින  තත්ත්වය හේතුවෙන්  මෙවර පෙරහර මංගල්‍ය සඳහා  කිසිදු බැතිමතකු සහභාගී නොකරගන්නා ලෙස  සෞඛ්‍ය අංශ ලබා දී  තිබෙන උපදෙස් අනුව එසේ සිදු කෙරිණි.

ඒ අනුව  අදින්  (21)  ඇරැඹෙන  ඓතිහාසික  රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහර පැවැත්වෙන කාල සීමාවේදී  කතරගමට පිටින් පැමිණෙන කිසිම බැතිමතෙකුට වන්දනාමාන කටයුතු සඳහා අවසර නොලැබේ. මෙම තත්ත්වය අද සිට ලබන අගෝස්තු 4 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර එම කාලය තුළ බැතිමතුන්ට පුජා  භූමියට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ.

අද සිට උදෑසන බැතිමතුන් ආපසු හරවා යැවීමේදී  පිට ප්‍රදේශ වලින් පැමිණි අය ආරක්ෂක අංශ සමඟ වචන හුවමාරු කරගන්නා අවස්ථාද දැකිය හැකි විය.  එමෙන්ම  ඇතැම් බැතිමතුන් මැණික් ගඟට බැස දියනාමින් දේවාලය දෙස බලා වැඳ පුදා ගන්නා අයුරු ද දැකිය හැකි විණි.

අදින් ඇරඹෙන කතරගම දේවාලයේ ඇසළ පෙරහර පුරා දින 14 ක් පවත්වා අගෝස්තු 3 වැනි දින මහා පෙරහර පවත්වා 4 වැනි දින මැණික් ගඟේ දිය කෑපීමේ මංගල්‍යයෙන් පෙරහර නිමාවට පත් වීමට නියමිතය.

මේ වන විට කතරගම දේවාලය අවට  පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය, යුද හමුදාව යොදවා ආරක්ෂාව තහවුරු කර තිබේ.