කතරගම එනවානම් පී.එච්.අයි.ගෙන් ලියුමක් ගේන්න


(එම්.කේ.නන්දසේන)      

සංචරණ සීමා පනවාතිබූ බස්නාහිර පළාත ඇතුළු අනෙකුන් ප්‍රදේශයන්හි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ,වන්දනා කටයුතු යොදාගෙන කතරගම නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට අදහස් කරන පුද්ගලයින් වෙතොත් තම පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අයකු නම් පූර්ණ සුවය ලබා ඇති බවටත්, නිරෝධායනය වී සිටි පවුල් ඒකකයක් නම් නියමිත කාලය සාර්ථකව අවසන් කොට ඇති බවටත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බවටත් අදාළ ලිපියේ දක්වා තිබිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

කතරගම ට නුදුරින් ඇති බුත්තල ප්‍රදේශයට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ හාඩිවෙයාර් වෙළඳසැල් වලට බඩු බෙදාහරින පුද්ගලයෙකු දින කීපයක් එම ප්‍රදේශයේ නිකේතනයක නවාතැන් ලබාගෙන බුත්තල, මොණරාගල, මැදගම යන ප්‍රදේශයන්හි හාඩිවෙයාර්  ආයතන වලට බඩු බෙදා හැර කොළඹ යාමෙන් අනතුරුව කෝවිඩි 19 වෛරසය ආසාදනය වී ඇත.

පසුව නවාතැන් ලබා සිටි නිකේතන හිමි කරැටද වයිරසය ආසාදනය වීමත් සමග එම නිකේතනය වසාදමා සේවකයින් නිරෝධායනයට ලක් ඉරීමට සිදු වූ බවත් අලෙවි නියෝජිත පුද්ගලයා බඩු බෙදා හැරීම සඳහා ගොස් ඇති හාඩ්වෙයාර් ආයතන කීපයක්ම නිරෝධායනයට ලක් කිරීමට සිදුවූ බවද පෙන්වාදුන් සමන් දිසානායක මහතා වෙළඳසැල් සඳහා බඩු භාණ්ඩ ලබා ගැනීමේදී ව්‍යාපාරික මහතුන්  ඉතාමත් සැලකිලිමත් වන  ලෙසද දැනුම් දීමක් කළේය.